සිසුන්ට සතුටින් අධ්‍යාපනය හැදෑරිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි!

සියලු සිසුන්ට සතුටින් අධ්‍යාපනය හැදැරිය හැකි, නිදහස් චින්තනයට ඉඩ ඇති තැනක් බවට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පත් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අමාත්‍යතුමිය මේ බව පැවසුවේ, විශ්වවිද්‍යාල තුළ නවක වදය සහ සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගියදා (18) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනක් අමතමිනි.

මෙම වැඩසටහන සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතනයන්හි ශිෂ්‍ය සංගම් නියෝජිතයන්  සහභාගී වූ අතර එහි ප්‍රධාන අරමුණ වූයේ හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් මෙන් ම විෂ මත්ද්‍රව්‍යවල අවධානමෙන් තොර මානසික සුවතාව ගෙන දෙන නිදහස් පරිසරයක් විශ්වවිද්‍යාල තුළ නිර්මාණය කිරීමයි.

මෙහිදී පැමිණ සිටි ශිෂ්‍ය ප්‍රජාව ඇමතූ අමාත්‍යතුමිය පැවසූවේ ජාතික ව්‍යසන අවස්ථාකදී සහෝදර විශ්වවිද්‍යාල ප්‍රජාවට උපකාර කිරීමට සංවිධානය වීම ඉතා අගය කරන බවත්, උසස් අධ්‍යාපන ආයතන තුළ නවක වදය සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කාර්ය සඳහාද එලෙස එක්විය යුතු බවත් ය.

ජාතික ආර්ථිකයටත්, ආරක්ෂාවටත් ප්‍රබල තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රවර්ධනය සහ අලෙවි කිරිමේ මධ්‍යස්ථාන බවට විශ්වවිද්‍යාල පත් වීමෙන් වළක්වා ගත යුතු බව පැවසූ අමාත්‍යතුමිය විද්‍යාර්ථීන්ටද ඒ සඳහා වගකීමක් ඇති බව පෙන්වා දුන්නා ය.

විශ්වවිද්‍යාල ඇතුළුව සියලුම උසස් අධ්‍යාපන අංශවල ගුණාත්මකබව තහවුරු කිරීම සහ අවස්ථා පුළුල් කිරීමත්  ශිෂ්‍ය ප්‍රජාවගේ සුබසාධන කටයුතු වැඩි කිරීමටත් මේ වන විට රජය මගින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය ක්‍රමක්‍රමයෙන් සිදුකරන බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියා සිටියේ, උසස් අධ්‍යාපනය පීඩාවෙන් තොර අධ්‍යාපන හිතකාමී පරිසරයක් විය යුතු බවයි. නවක වදය සහ විවිධ හිරිහැර හේතුවෙන් සිසුන්ගේ ආත්මගරුත්වය හා පෞරුෂය බිඳ වැටීමට ලක්වන බවත් ඒ හේතුවෙන් සිසුන් විවිධ අවදානම් සහිත ඇබ්බැහි වීම්වලට ලක්වීමේ අවදානමක් පවතින බවත්ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිසුන් වැරදිකරුවන් නොව අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස දැකීම සුදුසු  බවත්, ඔවුන් හට අදාළ පාර්ශ්වයන්ගෙන් ලබාගත හැකි උපරිම සහය ලබා දිය යුතු බවත් පැවසූ  නියෝජ්‍ය ඇමතිතුමා මෙය තනි පුද්ගල ප්‍රයත්නයක් නොව අප කාගේත් පොදු වගකීමක් ලෙස සැලකිය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කළ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පෙන්වා දුන්නේ තරගකාරී අධ්‍යාපනය තුළ රටාව තුළ හිර වී සිටින සිසුන් සමාජ සම්බන්ධතාවලින් බොහෝ දුරට ඈත් වී ඇති බැවින්  සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන බවයි. මෙය වළක්වා ගැනීමට අවශ්‍ය සාධනීය පියවර රාශියක් ඉදිරියේ දී ගැනීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නවක වදය සහ ඒ හා සම්බන්ධ නීතිය පිළිබඳ විද්‍යාර්ථීන් දැනුවත් කර අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු උසස් අධ්‍යාපන අංශයේ  නිලධාරිහු සහභාගි වී  සිටියහ.

END/GONP/MMP/20122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *