පුළුල් ජාතික පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රතිපත්තියක් ඉක්මනින්ම රටට ඉදිරිපත් කරනවා – විද්‍යා හා තාක්ෂණ ඇමති

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් පුළුල් ජාතික පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රතිපත්තියක් සකස් කිරීම අවසන් අදියරේ පවතින බවත්, එය ඉක්මනින්ම රටට ඉදිරිපත් කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන  ජාතික පර්යේෂණ සභාව විසින්  සංවිධාන කළ 2025 – විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිණි. සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ දින (18) බත්තරමුල්ල ‍වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

විද්‍යාත්මක පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් මූල්‍යාධාර සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන ජාතික පර්යේෂණ සභාව, රට තුළ විචිත්‍රවත් විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රජාවක් ගොඩනැගීම මෙන්ම  ජාතික ආර්ථික සංවර්ධනයට ඉවහල්වන පර්යේෂණ  දිරිගැන්වීම  වෙනුවෙන් කටයුතු කරයි. ඒ සඳහා පර්යේෂණ සිදුකරන  ශ්‍රී ලාංකික පර්යේෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත්  විද්‍යාඥයින්ගේ සේවාවන් අගයමින් ඔවුන් සඳහා ජාතික ගෞරවය  පුද කරනු පිණිස වාර්ෂිකව විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමේ  (PASR) වැඩසටහන සංවිධාන කරනු ලබයි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“ජාතික පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රතිපත්තිය තුළ ජාතික සංවර්ධන අවශ්‍යතා සමඟ පෙළගැස්වූ පැහැදිලි ප්‍රමුඛතා ප්‍රකාශ කරනු ලබන උපායමාර්ගික රාමුවක් තිබෙනවා. එය පර්යේෂණ ඇගයීමේදී සාධාරණත්වය, විනිවිද පෙනෙන, සාක්ෂි මත පදනම් වූ සහ ගැටුම් රහිත තීරණ ගැනීම සහතික කරනවා. බොහෝ මධ්‍ය අඩු  ආදායම් ලබන රටවල් මෙන් ශ්‍රී ලංකාවද දැඩි සීමාවන් යටතේ ක්‍රියාත්මක වෙනවා. පර්යේෂණ සඳහා කරන අපේ ආයෝජන එම සීමිත ජාතික සම්පත් වලින් ලබා ගන්නා රාජ්‍ය ආයෝජන වේ. එබැවින්, විද්‍යාව සඳහා, ප්‍රතිපත්ති සඳහා සහ ආර්ථිකය සඳහා ආයෝජනය කරන සෑම රුපියලකින්ම ජනතාවගේ යහපැවැත්ම සඳහා වටිනාකමක් ජනනය කිරීමට උත්සාහ කළ යුතුයි.”

“මූල්‍ය අභියෝග මධ්‍යයේ වුවද, ජාතික සංවර්ධනයේ ධාවකයක් ලෙස විද්‍යාව කෙරෙහි කැපවීම පෙන්වමින් අපි පෙර වසරවලට සාපේක්ෂව පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කර තිබෙනවා. මෙම ආයෝජනවලින් ඉහල සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට ඉවහල් වන පුළුල් පර්යේෂණ කළමනාකරණ තොරතුරු පද්ධතියක් නොමැති වීම අද ශ්‍රී ලංකාව මුහුණ දෙන එක් ප්‍රධාන ගැටළුවක්. එම ගැටළුව විසඳීමට ඉදිරි වසර තුළ ජාතික පර්යේෂණ කළමනාකරණ තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. මෙම පද්ධතිය මගින් කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමටත්, අපේ විද්‍යාඥයින්ට පීඩා වන බොහෝ ප්‍රමාදයන් අඩු කිරීමටත් හැකි වෙනවා.”

2021 වසරේදී විද්‍යාත්මක ප්‍රකාශන ඉදිරිපත් කළ විද්‍යාඥයින් 335 දෙනෙක් අද දින (2025 දෙසැම්බර් 18), විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා එක් වූ අතර සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් සිදු කළේය.විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය අනුජි ගමගේ, ප්‍රධාන විධායන නිලධාරී ආචාර්ය ශානිකා ජයසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

END/GONP/MMP/19122025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *