වේගවත් ආර්ථික වර්ධනයක් ඇති සමීප මිත්‍ර රටක් වන වියට්නාමය සමග බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම අපේ බලාපොරොත්තුවයි – බලශක්ති ඇමති

“වියට්නාමය  අපට සමීප මිත්‍ර රටක්. අපේ රට වගේම අසීරු සහ අභියෝගාත්මක කාල පසු කරපුඒ වගේම අද වේගවත්ම ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන අපටත් ආදර්ශයක් ලබා ගත හැකි රටක්.  එනිසාම වියට්නාමය සමග බලශක්ති ක්ෂේත්‍ර යේ නව ආයෝජන සහ තාක්ෂණ හුවමාරු හරහා  සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම අපගේද බලාපොරොත්තුවයි.“ යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, ඊයේ – 17 දා, බලශක්ති අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි  ට්‍රින් ති තම් (Trinh Thi Tam) මහත්මිය  බලශක්ති අමාත්‍ය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ය.

මෙහිදී අදහස් දැක්වූ වියට්නාම තානාපතිනි ට්‍රින් ති තම් (Trinh Thi Tam) මහත්මිය දැනට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය තම රටවල් දෙක අතර සබඳතා වඩාත් සමීප කර ගැනීමට හේතුවක් වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වියට්නාමයේ ආයෝජකයින් වෙත ලංකාවේ ආයෝජන කෙරෙහි විශාල උනන්දුවක් ඇතිවී තිබෙන බවත්, විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂ්ත්‍රයේ නව අවස්ථා පිළිබඳවත්, තාක්ෂණ හුවමාරුව පිළිබඳවත්, අවධානය යොමුව ඇති බවත් ප්‍රකාශ කළාය.

රජයන් දෙක අතර මෙන්ම පුද්ගලික ආයෝජනයන් හරහා මේ සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි තම රටේ අවධානය යොමුව ඇති බවත්, විශේෂයෙන් ඇඟළුම් ක්ෂේත්‍රයේ ලාංකික සමාගම් රැසක් දැනටමත් වියට්නාමය තුළ සැලකිය යුතු ආයෝජනයන් සිදු කර ඇති බවත් එමෙන්ම සාපේක්ෂව ලංකාවේ විවිධ ක්ෂේත්‍ර වල ආයෝජනය කිරීම කෙරෙහි තම රටේ ආයෝජකයින්ගේ සැලකිල්ල යොමු වී ඇති අතර, දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ගත හැකි නිශ්චිත ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මෙම හමුවේ අරමුණ බවත් ප්‍රකාශ කළාය.

මෙම හමුවේදී ලබාගත් තොරතුරු එළඹෙන නව වසරේදී මෙරටට පැමිණීමට නියමිත වියට්නාම ආයෝජකයින් පිරිසට දැනුම් දෙන බවත්, ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කළ හැකි බවත් තානාපතිනිය තවදුරටත් ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාව සඳහා වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලී වෑන් හොංග් (Le Van Huong) මහතාද සහභාගී විය.

END/GONP/MMP/18122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed