ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට e – Court ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට e – Court ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබාදීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපායමාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගනිමින් e – Court නමින් ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත.
එම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වාදී සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e-CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුලු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහාද අනුවර්තනය කර යොදා ගැනීම e – Court ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරයි.
එමගින් ජාතික අධිකරණ දත්ත ජාලයක් (National Judicial Data Grid) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රෙව්ශයට බාධා කිරීමේ ක්‍රියා පටිපාටිමය අකාර්යක්ෂමතා එමගින් මග හැරවීමට හැකිවනු ඇත.
ඒ අනූව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, 2026 – 2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ක්ලීන් ශ්‍රී ලංකා උපාය මාර්ගය සමග අනුකූල වෙමින් e – Court ව්‍යාපෘතිය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්රතිපාදනවලින්රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබාදීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
