බිඳවැටුනු දුම්රිය සහ මහාමාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ!
නුවර – නුවරඑළිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවත් නුවරඑළියෙන් ආරම්භ කරමින් නුවර දෙසටත් නුවරින් ආරම්භ කර නුවරඑළිය දෙසටත් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන බවත් ඉදිරි පැය 36 ඇතුළත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම මාර්ගය විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ ( 10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ මහනුවර , නුවරඑළිය මාර්ගය අවහිර වීම නිසා විකල්ප මාර්ගයක් ලෙස කොළඹ සිට නුවරඑළීය දක්වා ගමන් කරන සියලු බස්රථ සේවාවන් හැටන් හරහා ගමන් කිරීමට සුදානම් කර ඇති බවත් ය.එසේම මහනුවර සිට බදුල්ල දක්වා ගමන් ගන්නා බස් රථ ද හැටන් හරහා ගමන් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් මෙම මාර්ගයේ අවහිරතාවය ඉවත් කිරීමත් සමග ගම්පොළ හරහා ගමන් කරන මාර්ගය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තවද නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල ස්ථානයෙන් බස්රථ ගමන් කිරීමට නොහැකි බැවින් බස්රථ සියල්ල ගහ්ගල ස්ථානයෙන් නතර කර නැවතත් හග්ගල සිට බදුල්ල දක්වා තවත් බස් රථ හතරක් ධාවනය කිරීමට කටයුතු කර ඇති බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කණකරත්න මහතා සඳහන් කළේය.මෙම බස්රථ සේවාව ඊයේ සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඒ මහතා සහන සේවා කටයුතු සඳහා බස් රථ 120කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවත් පෙන්වා දුන්නේය.එසේම දුම්රිය සේවාව අඩාලව පැවති ප්‍රදේශවල මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බැවින් එම ප්‍රදේශවලට තාවකාලිව ලබා දී තිබු බස් රථ සේවාව නතර කර ඇති අතර මහනුවර කොළඹ බස් රථ තවදුරටත් ධාවනය කෙරෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ධාවනය වන දුම්රිය ජාලයට කුරුණෑගල සහ රඹුක්කන යන ගමනාන්ත එකතු කිරීමට හැකිවූ බවත් ස්ථීර ලෙසම රඹුක්කන සිට කුරුණෑගල සිට කොළඹ දක්වා වන කාර්යාලීය දුම්රිය සේවය ඉදිරි කාලයේ අඛණ්ඩව පවත්වා ගැනිමට දුම්රිය සේවාව සැළසුම් කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ( මෙහෙයුම්) බණ්ඩාර චන්ද්‍රෙස්න මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් දුම්රිය ධාවනය සිදු කෙරෙන බැවින් ඉදිරි දින කිහිපයේ දිවා කාලයේ පමණක් බුජ්ගමුව ප්‍රදේශයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.
තවද හැකි ඉක්මනින් දිවා කාලයේ දුම්රිය ධාවනයට පියවර ගන්නා බව සඳහන් කළ ඒ මහතා පාසල් වාරය ආරම්භ වීමත් සමග කුරුණෑගල සහ රඹුක්කන අතර දුම්රිය ධාවනය යථාවත් කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.
