කූඩු කර, කුසගින්නේ දැමූ වඳුරන් සම්බන්ධයෙන් තුම්පනේ බලධාරීන්ට චෝදනා – හිරුණි ලක්ෂිකා
මධ්‍යම පළාතේ තුම්පනේ ප්‍රදේශයේ කූඩුවල සිර කර, කුසගින්නේ දමා, හිරු රශ්මියට හා අධික වර්ෂාවට නිරාවරණය කර ඇති වඳුරන් විශාල සංඛ්‍යාවක් පිළිබඳව සත්ව සුබසාධන සංවිධාන දැඩි විරෝධය පළ කර සිටිනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකා සත්ව සුබසාධන සන්ධානය (Animal Welfare Coalition of Sri Lanka) පවසා ඇත්තේ, දින ගණනාවක් තිස්සේ ආහාර නොමැතිව, මියගිය සහ මරණාසන්න වඳුරන් රැසක්ද මෙම කූඩුවල සිටින බවයි.
මෙම අමානුෂික ක්‍රියාව වහාම නතර කරන ලෙස ඉල්ලා සන්ධානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
“රාජ්‍ය අනුග්‍රහය ලත්, පිළිකුල් සහගත මෙම කුරිරුකම” යළිත් තුම්පනේදී සිදුවීම ගැන තමන් කම්පාවට පත්වන බව ද සංගමය පවසනවා.
වඳුරන් වහාම නිදහස් කරන ලෙසත්, අල්ලා ගන්නා වඳුරන් ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට මධ්‍යම පළාතේ සියලුම ප්‍රාදේශීය සභා වලට උපදෙස් ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා සත්ව සුබසාධන සන්ධානය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.
