පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොග ගබඩාවකට මුද්‍රා තබයි – පහන් සිතුමිණ
මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩා කර තිබු වත්තල ප්‍රදේශයේ ගබඩාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙනවා.
වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ ගබඩාව පරික්ෂාවට යන විටත් එය වසා දමා පැවති අතර උපාය දූතයෙකු යොදවා ගබඩාව විවෘත කර ගැනීමෙන් අනතුරුව පරික්ෂා කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ලබාගන්නා ලද වියළි මිරිස් නියැදිය රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කර ඇති බවද පරිභෝගික අධිකාරිය දන්වා සිටියා.
විදේශයක සිට ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩාවක ඇති බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.
එම ගබඩාව තුළ කිලෝග්‍රෑම් 25 බැගින් වූ මලු 30ක් තුළ මිරිස් තොගය ගබඩා කර තිබූ අතර එහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය , බර ආදී අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් කර නොතිබු බව එම අධිකාරිය පවසනවා.
එමෙන්ම මෙම වියළි මිරිස් තොගය වෙළෙඳපොළට මුදා හරිමින් පැවති බවට ද පාරිභෝගික අධිකාරිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සඳහන් වෙනවා.
