අවුරුදු 150ක් ජීවත් වෙන්න පුළුවන් පෙත්තක් චීනයෙන් -රුසියාවත් ලෑස්ති වෙයි – හිරුණි ලක්ෂිකා
ආයු කාලය අවුරුදු 150ක් දක්වා දීර්ඝ කරගැනීමට හැකි පර්යේෂණ ව්‍යාපෘති ගණනාවක් චීනයේ ක්‍රියාත්මක වෙනවා.
ඒ, රජයේ බිලියන ගණනක ආයෝජන ඇතිවයි.
ඒ අනුව මිනිසා වයස්ගත වීම ආපසු හැරවීම සහ මිනිස් ආයු කාලය සැලකිය යුතු ලෙස දීර්ඝ කිරීම සඳහා දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව එරට වාර්තා පවසනවා.
රජය ජෛව තාක්ෂණය සඳහා බිලියන ගණනක් ආයෝජනය කරමින් සිටින අතර, පුද්ගලික සමාගම් පවසන්නේ වයස්ගත වීම මන්දගාමී කිරීමට හෝ නැවැත්වීමට හැකි ඖෂධ පෙති සහ ක්‍රියා පටිපාටි සංවර්ධනය කර ඇති බවයි.
ෂෙන්සෙන් හි පිහිටි ලෝන්වි බයෝසයන්ස් නම් සමාගමක් මෙම ක්ෂේත්රයේ ප්‍රමුඛයෙක් වනවා.
එහි ප්‍රධාන තාක්ෂණවේදී ලූ ක්වින්හුවා පවසා ඇත්තේ ‘අවුරුදු 150 ක් ජීවත් වීම තරමක් යථාර්ථවාදී’ බවයි.
ඔවුන් විසින් ‘procyanidin C1’ නම් සංයෝගය මත පදනම් වූ ඖෂධයක් නිර්මාණය කර ඇති අතර,මෙම ඖෂධය පැරණි සෛල විනාශ කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න සෛල ආරක්ෂා කිරීමට හැකියාව පවතිනවා.
මීයන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ මෙම ඖෂධය මගින් ඔවුන්ගේ ආයු කාලය සියයට 10 කින් පමණ දීර්ඝ වූ බවයි.
කෙසේ වෙතත්, විද්‍යාත්මක ප්‍රජාව මෙවැනි ප්‍රකාශයන් ගැන විමසිලිමත් වන නමුත්, චීනය තුළ මෙම ව්‍යාපෘතියට රාජ්‍ය මට්ටමින් ක්‍රියාකාරී සහයෝගය ලැබෙන බව සඳහන්.
ලෝන්වි බයෝසයන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී යිප් ජිෂූ මෙම පර්යේෂණ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, “මෙය තවත් පෙත්තක් පමණක් නොවේ. මෙය අතිවිශිෂ්ට සොයාගැනීමක්” යනුවෙන්.
ආයු කාලය දීර්ඝ කිරීමේ මාතෘකාව විද්‍යාඥයන් අතර පමණක් නොව දේශපාලන වේදිකාව තුළද දැඩි උනන්දුවක් දනවන කරුණක් වී තිබෙනවා.
චීන රූපවාහිනියේ වාර්තා වූ සංවාදයකදී, චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 150 ක් ජීවත්වීමේ සහ මරණය පරාජය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබුණා.
දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයේ 80 වැනි සංවත්සර සැමරුම් අතරතුර බීජිං හිදීචීන, රුසියානු සහ උතුරු කොරියානු නායකයින් වන ෂී ජින්පිං, ව්ලැද්මීර් පුටින් සහ කිම් ජොං-උන් අතර දීර්ඝායුෂ සහ අමරණීයත්වය පිළිබඳ පෞද්ගලික සංවාදයක් අහම්බෙන් මයික්‍රෆෝනයකට පටිගත වූ බව ද ඇතැම් වාර්තාවල සඳහන් වනවා.
කෙසේ වෙතත්, ඇමරිකානු ජීව විද්‍යාඥ ඩේවිඩ් බාර්සිලායි මෙම පර්යේෂණ පිළිබඳව යම් අනතුරු ඇඟවීමක් කරනවා.
ඔහු පවසන්නේ චීනය වයස්ගත වීම පිළිබඳ පර්යේෂණ බැරෑරුම් ලෙස සලකන බව සත්‍ය නමුත්, “ශක්තිමත් විද්‍යාත්මක අභිප්රායන් යනු උසස් තත්ත්වයේ ප්‍රතිඵල යන්න මුළුමනින්ම අදහස් නොවන” බවයි. අභියෝගය වන්නේ ‘වැඩිපුර කිරීම නොව, වඩා හොඳින් කිරීම’ බව ඔහු පෙන්වා දෙයි.
මීට අමතරව, රුසියාවේ ද ව්ලැඩිමීර් පුටින්ගේ මුලපිරීම මත වයස්ගත වීම මැඩලීම අරමුණු කරගත් විද්‍යාත්මක ව්‍යාපෘති සඳහා රාජ්‍ය සහයෝගය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව මීට පෙර වාර්තා වී තිබුණා.
