සරත් මද්දුමාගේ “කථාකරන චිත්‍ර” ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය

ජීවිතය විඳවන්නට නොව, “විඳීම පිණිස” තිළිණ වූවක් බව සිය ජීවිත අත්දැකීමෙන් ම සපත කර සිටින, වර්ථමානයේ ස්විස්ටර්ලන්තයේ ජීවත්වන සරත් මද්දුමාගේ විසින්  “ජීවිතය විඳීම පිණිස”  මැයෙන් ඉදිරිපත් කළ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගිය දා පානදුරේ දී පැවැත්විණි. “ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට කෘතගුණ සැළකීම සහ වත්මන් දරුවන්ට දිය හැකි උතුම්ම පණිවුඩය ලබාදීම චිත්‍ර ප්‍රදර්ශනයේ මුඛ්‍ය පරමාර්ථයයි” යන්න සරත් ගේ අරමුණයි.  

පානදුර , නල්ලූරුවේ පිහිටි “ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ශ්‍රීමත් සුසන්තා ද ෆෝන්සේකා” ශාලාවේදී ඔක්තෝබර් මස 31 වන දා සිට නොවැම්බර් 02 වන දා දක්වා මෙම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වූණු අතර,  නොවැම්බර් 02 වෙනි දා, ඉරුදින සම්පූර්ණයෙන් ම චිත්‍ර ලැදි මහජනතාවට විවෘතව පැවතුණි.

ඔක්තෝබර් 31 වන දා පස්වරු 6.00 ට විවෘත කළ “ජීවිතය විඳීම පිණිස” චිත්‍ර ප්‍රදර්ශණය, ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ගේ “සාදු ජන රාව” ප්‍රසංගය තුළින් වඩාත් වෛර්ණවත් වූ අතර, ඔහුගේ ඉතා ගැඹූරු, අර්ථවත් ගායනා කිහිපයක් තුළින් ලබාදුන් රසාස්වාදය ආරාධිතයින්ගේ පැසසුමට ද ලක්විය.

සිය ජීවිත ගමනේ විවිධ සංධිස්ථානවල දී තමන් මුහුණදුන් ස්වකීය සහ සමාජීය අවස්ථාවල් සහිත අත්දැකීම් චිත්‍රවලට නගමින් සකස්කළ චිත්‍ර 24ක් මෙම ප්‍රදර්ශනය තුළ ඉදිරිපත් කර තිබුණි.

අපත්‍ය සත්‍ය  , සාගරයේ විලාපය, කඳු විශාලය – සඳු ඊට වඩා විශාලය  ,  සමබරතාව , ආදරය , අම්මා – උණුසුම් , ආදරය සහ රැකවරණය, තමන් සඳහා මොහොතක් , ළමයින් ලෝකයේ අනාගතයයි , එක්සත්කම , සමගිය සහ ශක්තිය ,  යුද්ධය වෙනුවට සාමය , මිහිමව සුරකිමු යන මාතෘකා ඒ අතර වූහ.

සෑම චිත්‍රයක ම තමන්ගේ ජීවිතයට සෘජු සහ වක්‍ර සම්බන්ධතාවක් තිබෙන බව සරත් මද්දුමාගේ පැවසූ අතර, නොවැම්බර් 01 වෙනිදා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන් ම පානදුර ප්‍රදේශයේ අවට පිහිටා ඇති ළමා රැකවරණ මධ්‍යශ්ථානවල දරු දැරියන් සඳහා විවෘත වූ බවත් එහිදී තමන් සහ මුල්ලේරියාව මූලික රෝහලේ මනෝ වෛද්‍ය කේ වී නිහාල් රන්ජන් වෛද්‍යතුමා  විසින් “සතිමත්බව” සම්බන්ධයෙන් දරු දැරියන් මෙන් ම කාර්ය මණ්ඩල නිළධාරීන් ද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව පැවසීය.

   

සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු ද වන සරත් මද්දුමාගේ වර්ථමානයේ ස්විස්ටර්ලන්තයේ ජීවත්වන පුරවැසියෙකු වුව ද, තමන්ගේ ජීවිතය ගොඩනගා දුන් මව් බිමත් , ගෝතම ළමා සංවර්ධන මධ්‍යශ්ථානයත් කිසිදිනෙක අමතක නොකරන බව මෙලෙස පැවසූවේය.

මගේ ජීවිතයේ වැඩිහරියක්, මගේ ළමා හා යෞවන කාලය, ඒ කියන්නේ මම අවුරුදූ 09 ඉඳලා අවුරුදු 17 වන තුරු හැදුණේ වැඩුණේ මේ ගෝතම ළමා නිවාසයේ. ඒ ජීවිතය මට හොඳ ශක්තියක් වුණා , මගපෙන්වීමක් වුණා, ජීවත්වීම ගැන හොඳ පුහුණුවක් ද ලබාදුන්නා. ඉගෙනගත්තේ මේ නිවාසයේ ඉඳලා. ඒ ඉගෙනීම සහ මම තෝරාගත්ත රැකියාව තුළින් මම ජීවිතය ජයගත්තා. අද මම හැරිලා බලනකොට, මම ස්විස්ටර්ලන්තයේ ජීවත්වෙනවා. එහි පුරවැසියෙක් වෙලා ඉන්නවා. ලංකාවේදි වගේම මම එහෙත් සමාජ , දේශපාලන ක්‍රියාකාරිකයෙකු විධියට මගේ කටයුතු කරගෙන යනවා. ඒ නිසා මට අවශ්‍ය වුණා ළමා නිවාසයට ස්තූතිවන්ත වෙන්න වගේම වර්ථමානයේ දී මේ නිවසේ ජීවත්වන දරුවන්ට යම්කිසි ශක්තියක් , ධෛර්යයක් වෙන්න පණිවුඩයක් ලබාදෙන්න ජීවිතය විඳින්න නම් අපිට අපේ වැඩකොටසකුත් සමාජීය වැඩ කොටසකුත් තිබෙනවා කියා මගේ ජීවිත කථාවෙන් පෙන්වා දෙන්න. ඒක තමයි මම මේ චිත්‍ර ප්‍රදර්ශනය මම හැඳුණු වැඩුණු මේ නිවසේ පවත්වන්න අදහස් කළේ “ යැයි සරත් මද්දුමාගේ පැහැදිළි කළේය.

එමෙන් ම, මෙම චිත්‍ර ප්‍රදර්ශණයෙන් ලැබෙන කවර හෝ ආදායම ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන බවද සඳහන් කළ සරත් මද්දුමාගේ, මෙම සිතුවම් මිළදී ගැනීමට අවැසි අය ඇත්නම්, ඒ සඳහා කටයුතු කළ හැකි බව ද පැවසීය.

       

ස්විස්ටර්ලන්තයේ නම් මේ චිත්‍ර රුපියල් වලින් පනස්දාහෙන් එහා ලක්‍ෂ පහ වනතුරු මිළ වෙනවා. නමුත් මම දන්නවා ලංකාවේ අයට එවැනි මිලක් දරන්න අසීරුයි. ඒ නිසා පහසු මිලක් යටතේ ලබාගන්න පුලුවනි. මොකද අලෙවි වෙන සෑම චිත්‍රයක් ම මේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාගයක් වෙනවා”යැයි කීහ.

තවද, අද – නොවැම්බර් 07 වෙනිදා කොළඹ මහජන පුස්තකාලයේ දී ආරම්භූ “සිත් රූ සමූහය” විසින් ප්‍රථම වරට සංවිධානයකර ඉදිරිපත් කරනු ලබන “සිත් රූ සිතුවම් දැක්ම” සඳහා ද තමන්ගේ තෝරාගත් සිතුවම් 10ක් ඉදිරිපත් කර ඇති බව ද සරත් මද්දුමාගේ වැඩිදුරටත් පැවසීය. ප්‍රදර්ශණය නොවැම්බර් 09 වෙනි දා දක්වා පැවැත්වේ.

       

සටහන හා ඡායාරූප  –  මෙලනි මානෙල් පෙරේරා

END/MMP/07112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed