සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩපිළිවෙලට සෑම දෙනාම සහාය වන්න -කැබිනට් ඇමති

සමාජ ව්‍යසනයක්  බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩපිළිවෙලට සෑම  දෙනාගේම සහාය ලබා දෙන්නැයි කැබිනට් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසිය. ඊයේ 04 වෙනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

රටම එකට ජාතික වැඩපිළිවෙල තුළ විෂ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අවහිර කිරීම පමණක්  නොව  පුනරුත්ථාපන කටයුතුද සිදු කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ සඳහා නාවික හමුදාවත් ආරක්ෂක අංශත් එක්ව විෂ මත්ද්‍රව්‍ය සැපයුම් දාමයට බාධා  කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද එලෙස අත්අඩංගුවට ගෙන නීතිය හමුවට රැගෙන එන බවද සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ අය සඳහා පුනුරුත්ථාපන ක්‍රියාවලියද වේගවත් කර ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය ආදී වශයෙන් අමාත්‍යංශ ගණනාවක් ඒකාබද්ධව කටයුතු කරගෙන යන බවද පැවසුවේය.

අලුත් පුනුරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයක් මේ වන විට ආරම්භ කරමින් පවතින බවද සෑම දිස්ත්‍රික්කයකටම පහසුකම් සහිත එක් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් යන බවද සදහන් කළේය.

දැනටමත් පුනුරුත්ථාපන මධ්‍යස්ථාන අලුතෙන් පටන්ගෙන ඇතැයිද, ඉදිරි දින කිහිපයේදී තවත් නව පුනුරුත්ථාපන මධ්‍යස්ථාන ඇර‍ඹෙනු ඇතැයිද පැවසුවේය. දැනට පවතින රජයේ ගොඩනැගිලි අතරමැදි මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා රජයේ ගොඩනැගිලි දැනටම හඳුනාගනිමින් අදාල අමාත්‍යංශ ඒ සදහා කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් පැවසුවේය.

ඇතැම් පුද්ගලයින්ට පුනුරුත්ථාපනය, මනෝ උපදේශනය මෙන්ම ප්‍රතිකාරද සිදුකළ යුතු වන බව පෙන්වාදුන් කැබිනට් ප්‍රකාශකවරයා මෙම සියලු කටයුතු වලට මැදිහත් වෙමින් එම අංශ ශක්තිමත් කරමින් රජය මෙම ව්‍යාපාරය දියත් කරමින් සිටින බවද අවධාරණය කළේය.

END/GONP/MMP/05112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *