සැළසුම් කළ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබෙන බව සංගමය දන්වා සිටියි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (30) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඇති වූ එකඟතා මත මෙම තීරණය ගත් බව, නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටියි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළිගත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමටත්, ඒ වෙනුවට පිළිගත් ක්‍රමවේදය හරහා කාල රාමුවක් සහිතව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමටත් එකඟ වූ බව එම සංගමය පවසයි. එමෙන්ම එම එකඟතාවයන්, අද දින පැවැත්වෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී තහවුරු කිරීමටද එකඟ වූ බවත් එහි දැක්වේ.
ඒ අනුව එම එකඟතාවයන් සලකා බලමින්, සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවේදී අදාළ එකඟතාවයන් තහවුරු කර ලිඛිතව ලැබෙන තුරු, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව ප්‍රකාශයට පත් කර තිබූ වැඩවර්ජනය ආරම්භ කිරිම අද දහවල් 12 දක්වා තාවකාලිකව දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
එම එකඟතා ක්‍රියාත්මක නොවන්නේ නම්, ඕනෑම මොහොතක නැවත වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
