සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධනයන් සිදුකිරීමට අනුමැතිය නොදෙන්නැයි ඉල්ලා පෙත්සමක්!

සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත්කර ඇති ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙය ඉදිරිපත්කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා යන පිරිස නම්කර තිබේ.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ මෙරට තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව්වීමෙන් පසුව මතුවූ මහජන විරෝධය මෙන්ම මහා නා හිමිවරු සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවද පෙත්සම්කරුවන් කියා සිටියේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාළ ලිපිය නිකුත් කර ඇති බවත්, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ද උල්ලංඝනය කිරීම සිදුවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

Copied: https://sinhala.adaderana.lk/news/216233
END/AdaDerana/MMP/27102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed