දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පි. පියසිරී රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු නව තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීම!
දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පි. පියසිරී රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු නව තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 25 වැනි දා සහභාගි විය.
මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය රජයත් , පුද්ගලික අංශයත්, ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති සඳහා මෙම රෝහල කදිම උදාහරණ සපයන බව පැවසීය.
සමාජ වගකීමකින් යුතු ව්‍යාපාරිකයින් පිළිබඳ ආදර්ශ අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන දක්ෂ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවය මේ යුගය තුළ පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා ය.
මෙම තෙමහල් වාට්ටු සංකීර්ණය අංගසම්පූර්ණ ලෙස නිමවා පරිත්‍යාග කරමින් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය මෙහි දී දේශමාන්‍ය එච්. ජී. පියසිරී මහතාට සහ පවුලේ සැමට ස්තුතිය පුද කර සිටින ලදී.
මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,
“අද මේ රෝහල ඉදි කළ එච්. පී. පියසිරී මහතාගේ සිහිනය වන්නේ 2030 වසරේ දී මේ ගම් ප්‍රදේශය සංචාරක කර්මාන්තය හරහා ආර්ථික වශයෙන් දියුණු කිරීම. ආයුර්වේද කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා සම්බන්ධව දියුණු කොට සුවතා සංචාරක කර්මාන්තයක් (wellness tourism ) දක්වා ගෙනයාම ඉතා වැදගත් දෙයක්. මෙය ප්‍රතිකාරයක් වගේම සත්කාරයක්. මෙය අපේ රට ලෝකයේ තවත් ඉදිරියට රැගෙන යන්න පුළුවන් ව්‍යවසායක අදහසක්. ඒ වෙනුවෙන් වූ පියසිරී මහතාගෙ දැක්ම ඉතා වැදගත්. ඒ වගේම ආයුර්වේද රෝහලක් කියන්නෙ රජයේ රෝහල වගේ ම ජනතාවගේ ජීවිතයේ කොටසක්. මේ වටිනා වැඩපිළිවෙළ වෙනුවෙන් පියසිරී මහතා එතුමාගෙ කොටස ඉටුකරලා තියෙන්නෙ. එතුමාගේ කාර්යයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න අපි රජය ලෙස මැදිහත්වෙනවා. ” යනුවෙන් පැවසී ය.
මෙම උත්සව අවස්ථාව සඳහා ගෞරවණීය මහා සංඝරත්නය වැඩමවූ අතර දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ යන මහත්වරුන් ඇතුළුව ආරාධිත අමුත්තන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
