කුරුණෑගලට ටොනාඩෝ සුළං – හිරුණි ලක්ෂිකා

මෑත කාලයේ පවතින කාලගුණ වෙනස්විම් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයට එල්ල වන ටොනාඩෝ සුළං තත්ත්වයන් වැඩිවීමේ අවදානමක් පවතින බව ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක පවසනවා.

රට තුළ මේ දිනවල පවතින අහිතකර කාලගුණ වාතාවරණයත් සමඟ මේවනවිට දින කීපයක් තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකටම ටොනාඩෝ සුළං ඇතිවි දේපළ හානි සිදුව ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවා.

මේ අනුව ඊයේ (24) දිනයේ කොබෙයිගනේ ප්‍රදේශයටද, ඊට පෙර දිනවල වාරියපොලට දෙවරක්ද , නාරම්මලට සහ නිකවැරටිය ප්‍රදේශවලටද මෙම ටොනාඩෝ බලපෑම එල්ල වී තිබූ බව විරාජ් දිසානායක ප්‍රකාශ කළා.

මෙයින් වාරියපොළ නිවාස 93කට නිකවැරටිය නිවාස 16කට සහ කොබෙයිගනේ නිවාස 7 කටද හානි සිදුව තිබුණා. මින් වැඩි සංඛ්‍යාවක් අර්ධ හානි ලෙස සැලකේ.

මෙම ටෙනාඩෝවලින් ජීවිත හානි වාර්තා වී නොතිබුණද සිකුරාදා එල්ල වූ ටොනාඩෝවෙන් කොබෙයිගනේ පෙර පාසැලක ගොඩනැගිලිවලට හානි සිදුව එහි සේවය කරන පෙර පාසැල් පාලිකාවකට සුළු තුවාල සිදුව කුඩා දරුවන් බේරී ඇති බවද ඔහු පැවසුවා.

මීට පෙර 2019 සහ 2021 වසර වලදී කුරුණෑගල සහ මාස්පොත ප්‍රදේශවලට දරුණු ටොනාඩෝ තත්ත්වයක් ඇතිවි විශාල දේපළ හානියක් සිදුවූ බවද ඉන් අනතුරුව මෙවරද එවැනිම තත්ත්වයක් ඇති වීම තුළින් යම් ආකාරයකට කුරුණෑගල දිස්ත්‍රික්කයට ටොනාඩෝ සුළං තත්ත්වයන් ඇති වීමේ සම්භාවිතාවක් පවතින බවද ආපදා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *