සුදු වීමේ ක්‍රීම් පිටුපස සැඟවුණු පිළිකා අනතුර – හිරුණි ලක්ෂිකා

සම පැහැපත් කර ගැනීමේ ක්‍රීම් භාවිතය පිටුපස බරපතල පිළිකා අවදානමක් පවතින බවට නවතම නිරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිදත් විජේසේකර අනතුරු අඟවනවා.

සුදු වීමට භාවිතා කරන මෙම ක්‍රීම් වර්ග වල අඩංගු ඇතැම් ප්‍රබල රසායනික ද්‍රව්‍යයන් පිළිකාකාරකයක් ලෙස ක්‍රියා කරන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම අනතුරුදායක තත්ත්වය පිළිබඳව කතා කිරීමට සිදුව ඇත්තේ මෑත කාලයේදී වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කරන ලද විශේෂිත රෝගී තත්ත්වයක් හේතුවෙන් බව ද සඳහන්.

මෙය තරුණ සහ මැදිවියේ කණ්ඩායම් අතර නියපොතු වල දක්නට ලැබුණු, ‘හාෆ් ඇන්ඩ් හාෆ් නේල්ස්’ ලෙස හැඳින්වෙන තත්ත්වයක්.

නියපොතු මැදින් පාටේ වෙනසක් සිදුවන මෙම තත්ත්වය සාමාන්‍යයෙන් වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට බලපෑවත්, මෑතකදී කළ සොයා ගැනීම් හරහා හෙළිවී ඇත්තේ සුදු වීමට ගාන ක්‍රීම් වල සබඳතාවක් මේ සඳහා ඇති බවයි.

මෙම සුදු වීමේ ක්‍රීම් වල ඇති ප්‍රධානතම අවදානම් සහගත රසායනිකය ලෙස හයිඩ්‍රොක්විනෝන් (Hydroquinone) හඳුනාගෙන තිබෙනවා.

මෙම රසායනිකය සෛල ඇතුළත ක්‍රියා කරන ආකාරය හේතුවෙන් පිළිකාකාරක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව සඳහන්.

පෙර අධ්‍යයන මඟින් පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රීම් වර්ග වැඩි මාත්‍රාවෙන් පාවිච්චි කිරීම තුළින්, විශේෂයෙන්ම ලියුකීමියා සහ සමෙහි පිළිකා වර්ග ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, මෙම රසායනික භාවිතය හේතුවෙන් පිළිකා ඇති වුවහොත්, ඒ සඳහා සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 15ත් අතර කාලයක් ගත විය හැකි බවයි.

එපමණක් නොව, මර්කරි (රසදිය) හෝ ග්ලුටතයෝන් වැනි වෙනත් රූපලාවණ්‍ය ද්‍රව්‍ය සමඟ හයිඩ්‍රොක්විනෝන් එකතු වීමෙන් එහි පිළිකාකාරක ස්වභාවය තවදුරටත් ඉහළ යා හැකි බවද අධ්‍යයන මඟින් පෙන්නුම් කර තිබෙනවා.

හයිඩ්‍රොක්විනෝන් වල ඇති මෙම බරපතලකම හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් මේ සඳහා නියමකර ඇත්තේ දැඩි පාලනයක්.

ලෝකයේ බොහෝ රටවල් වල මෙය සාමාන්‍ය කඩයකින් හෝ ඔන්ලයින් ලබා ගත නොහැකි අතර, එය ලබා ගැනීමට වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුවක් හෝ නියාමනයක් අනිවාර්ය වනවා.

වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කරන විට පවා, මෙය කෙටි කාලීනව පමණක් භාවිතා කළ යුතු බවටත්, ක්‍රීම් එකේ අඩංගු හයිඩ්‍රොක්විනෝන් ප්‍රතිශතය පවා හොඳින් පාලනය විය යුතු බවටත් විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය සිදත් විජේසේකර පෙන්වා දෙන්නේ, මෙතරම් පාලනය විය යුතු රසායනිකයක් කිසිදු ප්‍රශ්නයකින් තොරව අපේ රටේ කඩෙන් හෝ ඔන්ලයින් ලබා ගත හැකි තත්ත්වයක් ඇති බවයි.

එමෙන්ම ලංකාවේ ඇති බොහෝ ක්‍රීම් වර්ග වල හයිඩ්‍රොක්විනෝන් අඩංගු දැයි හෝ එහි ප්‍රතිශතය කොපමණදැයි සඳහන්ව නොමැති බව විශේෂඥ වෛද්‍ය සිදත් විජේසේකර පවසනවා.

මෙම විනාශකාරී අවදානමට ගොදුරු වීම වැළැක්වීම සඳහා පාරිභෝගිකයින් සූක්ෂම විය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.
එම නිසා සුදු වීමේ ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්නේ නම්, එහි අමුද්‍රව්‍ය හා හයිඩ්‍රොක්විනෝන් ප්‍රතිශතය පරීක්ෂා කර බලා, එය ඔබට සුදුසු හෝ අනුමත ප්‍රතිශතයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගැනීම අනිවාර්ය බව වෛද්‍ය මතයයි.

මෙම අවදානම ඉවත් කර ගත නොහැකි බැවින් මෙවැනි දෑ භාවිතා කිරීමෙන් වැළකීම වඩාත් වැදගත් පියවරක් බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *