දිට්වා වන්දි දීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති අද මහනුවරට – හිරුණි ලක්ෂිකා
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස හානි වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීම, වන්දි ප්‍රදානය මෙන්ම සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) සිදු කෙරෙනවා.
ඒ අනුව පෙරවරු 9.00ට මහනුවර – කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම වන්දි ප්‍රදානය සිදු කිරීමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහායි මෙලෙස වන්දි ප්‍රදානය කෙරෙන්නේ.
තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයින්ට ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් ලබා දීම මෙහිදී සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූවන්ට රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක් පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වනු ඇති.
මේ අතර මහනුවර – යාපනය මාර්ගයේ මහයියාව උමං මාර්ගය ඉදිකිරීම, ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු යළි ආරම්භ කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙනවා.
