ශ්‍රී ලංකා දුම්රිය සේවයට නවක නිලධාරීන් 42 ක් බඳවා ගැනේ

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සදහා නවක නිලධාරීන් බඳවා ගැනීම යටතේ තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලින් සමත් සුදුසුකම් ලත් නවක නිලධාරීන් හතලිස් දෙදෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛ‍ද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

පත්වීම් ප්‍රදානෝත්සවය කොළඹ 10, මරදාන පිහිටි දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඊයේ  (2026.02.03) පැවැත්විණ.

නවක නිලධාරීන් බදවා ගැනීම යටතේ දුම්රිය එන්ජින් රියදුරන් 30 දෙනෙකු, දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් 09 දෙනෙකු සහ උපදේශකවරු 03 දෙනෙකු ඇතුලුව 42 දෙනෙකු බදවා ගැනීම සිදුවිය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් අනුව රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව 2025.07.05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත 2025.12.29 සහ 30 දෙදින පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ වලින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් නව තනතුරු සදහා බදවාගෙන ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිගු කාලීනව පැවති විවිධ වර්ගීකරණයන්ට අයත් තනතුරු පුරප්පාඩු සදහා විධිමත් බදවා ගැනීම් වර්තමාන රජය විසින් ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේදී 909 දෙනෙකු තරග විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය තුලින් බදවාගැනීම සිදුකෙරිණ.

පත්වීම් ප්‍රදානයට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛ‍ද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අදහස් දක්වමින්, ‘දුම්රිය සේවාවේ මානව සම්පත හා භෞතික සම්පත් වැඩිදියුණු කර, තාක්ෂණය සමග මුසුකර කාර්යක්ෂම දුම්රිය සේවාවක් ඇති කිරීම වෙුනවෙන් උපාය මාර්ගික සැලසුම් අනුව කටයුතු කරමින් පවතිනවා. පොදු ප්‍රවාහනය ඇතුලු රටේ සෑම විෂය ක්ෂේත්‍රයකටම අදාලව තිරසර සංවර්ධනයක් වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය දේශපාලන නායකත්වය ලබාදෙනවා.

රටක් ලෙස සංවර්ධනය වීමට රාජ්‍ය ආයතනවල මානව හා භෞතික සම්පත් වර්ධනය තීරණාත්මකව බලපානවා. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ වනවිට රට ආර්ථික, සමාජයීය, ජාත්‍යන්තර මට්ටමින් රට ස්ථාවර භාවයට පත්කරගෙන තිබෙනවා. විවිධ ආයෝජන අවස්ථා රට තුළ නිර්මාණය කර තිබෙනවා. මහා භාණ්ඩාරය සතුව මුදල් සංචිත ස්ථාවරව පවත්වාගෙන යනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තාවීම ද විශේෂත්වයක්. මීට පෙර ලංකාවේ මෙවැනි සාධනීය තත්ත්වයක් වාර්තා වුණේ අවස්ථා හතකදී පමණයි. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ලෝක ආර්ථික සංචලනතා  සුපරික්ෂාකාරීව අධ්‍යනය කරමින් රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරමින් සිටිනවා.

ජනතාව අපිට බලය ලබාදුන්නේ දූෂිතයන්ට දඩුවම් දෙන්න, ආර්ථිකය ස්ථාවර කරන්න, නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න. ඒ සදහා අපි ප්‍රජාතන්ත්‍රවාදීව, පවතින නීති පද්ධතියට අනුකූලව විනිවිදභාවයෙන් යුක්තව, අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් විදියට කටයුතු කරමින් සිටිනවා. දූෂිතයන්ට, හොරුන්ට දඩුවම් දීම සරත් පොන්සේකාට දඩුවම් දුන්නා වගේ කරන්න බැහැ. නීතියට අනුව අධිකරණ පද්ධතිය හරහා එය සිදුකල යුතු වෙනවා. රටේ සියලු දෙනාට නීතිය සමාන ලෙස ක්‍රියාත්මක කරනවා.“

මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පද්මප්‍රිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කාර්මික) කීර්ති හේවාවිතාරණ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ප්‍රවාහන) එන්. ජේ. ඉදිපොලගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පරිපාලන) ආර්. එම්. එන්. කේ. එස්. කාංචන, ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) ඊ. එම්. එස්. පී. කේ. දීගල, ප්‍රධාන ඉංජිනේරු (සංඥා හා විදුලි) වී. සී. ඩී. ජයසේකර, වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස්. පී. විතානගේ, දුම්රිය ප්‍රධාන ආරක්ෂක නිලධාරි කේ. ජී. අනුර ප්‍රේමරත්න යන මහත්වරු සහ නවන පත්වීම්ලාභීහු එක්ව සිටියහ.

END/GONP/MMP/04022026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed