පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය
“පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025 – 2030” ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි බල සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව, වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමත්, වසර 2050 වන විට කාබන් උදාසීනතාවයට ළඟා වීමත් සඳහා පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව රජය පෙන්වා දෙයි.
2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත මඟින්ද එවැනි සැලැස්මක් සකස් කිරීම සඳහා නියම කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින්,
• යෝග්‍ය ඉඩම් හඳුනාගැනීම හා ප්‍රමුඛතාව ලබාදීම,
• පුනර්ජනනීය බලශක්ති සිතියම සකස් කිරීම,
• පුනර්ජනනීය බලශක්ති උද්‍යාන සංවර්ධනය කිරීමේ කාලරාමුව
යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන ආවරණය කරමින්, පාවේන සූර්ය බල ව්‍යාපෘති ද ඇතුළත් කර “පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025 – 2030” සකස් කර ඇත.
එම සැලැස්ම බලශක්ති අමාත්‍යවරයා විසින් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත.
