මගීන් 40ක් සමග ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් රියැදුරු නිසා බේරයි – පහන් සිතුමිණ
වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි අද (01) අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියැදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇතැයි වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර පැවසුවා.
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ එම මාර්ගයේ අධික වංගුවක් සහිත ස්ථානයකදී බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියැදුරුගේ පාලනයෙන් මිදි අනතුරට පත් වී තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් අප එම බස් රථයේ රියැදුරු වන සමන් තිලකසිරි (48) ගෙන් අප විමසා සිටියා.
“අද උදේ බස් රථය නිල්දණ්ඩාහින්නේ ඉදලා තෙරිපැහැ දක්වා ධාවනය කරවන අවස්ථාවේ වන පාරේ රාසින්ගොල්ල ප්‍රදේශයේ පළවෙන් වංගුවේදි ඩෝං ගාලා සද්දයක් ආවා. මම ටක්ගාලා අත්තිරිංග තද කරලා බස් රථය නතර කර ගත්තා. බස් රථයට පහළින් අඩි 50ක් පමණ ප්‍රපාතයෙන් රුපහ මාර්ගය පේනවා. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරා. මම බස් එක නතර කරලා බැහැලා බලනකොට බස් එකේ ජොයින්ට් එක දෙකට කැඩිලා තිබුණා. බස් එකේ ඉන්න කට්ටිය බස්සවලා මම ඒ ගැන ඩිපෝවට දැනුම් දුන්නට පස්සේ ඩිපොවෙන් ඇවිල්ලා අලුතින් ජොයින්ට් එකක් දාලා බස් එක ගත්තා. බස් එක ගන්නකම් මාර්ගය අවහිර වෙලා තිබුණේ. මම අවුරුදු 15ක් පමණ රියැදුරෙකු වශයෙන් වලපනේ ඩිපෝවේ සේවය කරනවා. මගේ පදිංචිය කෑගල්ලේ අවිස්සාවේල්ල පාරේ. බස් රථය අනතුරට පත් වුණ ස්ථානය දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය ස්ථානයක් මාර්ග තාම හරියට හදලා නැ. එම මාර්ගයේ බස් රථ ධෘවනය කරන්න හරි අමාරුයි.”
රියැදුරුගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවන්නට ගිය මහා ව්‍යසනයකින් බේරුණු බව මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකරු වැඩිදුරටත් පැවසුවා.
