ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් නුදුරේදීම එළිදැක්වීමට කටයුතු කරනවා – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
රටේ ආර්ථික ඉලක්ක කරා ගමන්කිරීමේදී රට තුළ ඵලදායිතා සංකල්පය නිසි පරිදි ක්‍රියාවට නැංවීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉක්මනින්ම ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් සකස්කර එළිදැක්වීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29 දා) බත්තරමුල්ල සුරුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවති NPS day ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සවිබල බලගැන්වීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.
2026 වසරේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති 4I ව්‍යාපෘතිය, ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන, රාජ්‍ය අංශයේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම හා 2026 ඉදිරි සැලසුම් පිළිබඳව දිවයින පුරා සිටින ජාතික ඵලදායිතා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර මේ සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ඵලදායිතා සංවර්ධන නිලධාරීන් 591 දෙනෙක් සහභාගිවී සිටියහ. මෙහිදී 2026 වර්ෂයේදී ඔවුන් විසින් ළඟා කර ගත යුතු ඉලක්කයන් පිළිබඳවද දැනුවත් කරන ලදී.
ඵලදායිතා සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීම හා ඔවුන්ගේ නිපුණතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව SSMI ආයතනය විසින් නොමිලේ ලබාදෙන රුපියල් මිලියන 52 ක් වටිනා Sixsigma පුහුණු වැඩසටහන සදහා SSMI ආයතනය සමඟ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය අවබෝධතා ගිවිසුමකට එළඹීමද මෙහිදී සිදුවිය.
2026 වසරේදී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාල විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රජා ඵලදායිතා ගම්මාන වැඩසටහනේ නිල ෆේස්බුක් පිටුව එළිදැක්වීම, මාර්ගෝපදේශ සංග්‍රහය හා වැඩ පොත් එළිදැක්වීම හා මෙම වසරේදී පැවැත්වෙන ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සවිබල ගැන්වීම සදහා ඔවුන් වෙත laptop පරිගණක ලබාදීමද සිදුකරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රාජ්‍ය සේවයේ සෑම අංශයක් තුළම ඵලදායිතාව ක්‍රියාත්මක කිරීම කළ යුතු බවයි. එසේම ඉතාමත් ඉක්මනින් ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් හඳුන්වාදී එය රට තුළ ක්‍රියාත්මක කරන බවත් එසේම කාර්ය සාධන ඇගැයීම් මත අමාත්‍යංශය පවත්වාගෙන එන ලංකාවේ එකම අමාත්‍යංශය තම අමාත්‍යාංශය වන කර්මාන්ත අමාත්‍යාංශය බව පැවසීය. එසේම ඩිජිටල්කරණය ඵලදායිතා සංකල්පය ඉදිරියට ගෙන යාමට ඉතාමත් හොඳ උත්ප්‍රේරකයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.
අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, සෑම දියුණු රටක්ම එම ප්‍රගතිය ලබාගෙන ඇත්තේ ඵලදායිතා සංකල්පය හරහා වන බැවින් ලංකාවේ දැවැන්ත ආර්ථික පරිවර්තනයක් සිදුවෙමින් පවතින මෙම අවස්ථාවේ රටේ සෑම ක්ෂේත්‍රයක් තුළම සාධනීය පරිවර්තනය සිදු විය යුතු බව පැවසීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දක්වමින් රටේ ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙදී ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යාවශ්‍ය බැවින් ඒ සඳහා එකම විකල්පය ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කිරීම බවත් ඵලදායිතා සංකල්පය පෙර පාසල් වියේ සිටම ආදේශ කළ යුතු ඉතා වැදගත් සංකල්පයක් වන බව පැවසුවාය.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභාෂිණී කුලතුංගමුදලි, ජාතික ඵලදාතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරංග ගුණරත්න, ජාතික ඵලදාතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නෙරංජ ජයකොඩි, අමාත්‍යාංශ නිලධාරින්, ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරින් හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ඵලදායිතා සංවර්ධන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
