කොළඹ අභිබවා තදාසන්න නගරවල ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට : ගම්පහ සහ කළුතර ඉඩම් මිලේ කැපී පෙනෙන වර්ධනයක් – හිරුණි ලක්ෂිකා
ශ්‍රී ලංකාවේ ඉඩම් වෙළඳපොළ 2025 වසර තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව ලංකා ප්‍රොපර්ටි වෙබ් (LPW) ආයතනයේ නවතම දත්ත වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, මින් පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් වෙමින්, ආයෝජකයින්ගේ අවධානය දැන් කොළඹ නගරයෙන් බැහැරව තදාසන්න නගර වෙත යොමුව ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.
වාර්තාවට අනුව කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල ඉඩම් මිල වසරකට සාපේක්ෂව 4% කින් ඉහළ ගොස් ඇති අතර, එහි පර්චසයක සාමාන්‍ය මිල රුපියල් මිලියන 12ක් ලෙස සටහන්.
කෙසේ වෙතත්, කොළඹ තදාසන්න ප්‍රදේශවල මිල ඉහළ යාම 8% ක් ලෙස වඩාත් ප්‍රබල අගයක් ගන්නා අතර, එහි පර්චසයක සාමාන්‍ය මිල රුපියල් මිලියන 2.3ක්.
බස්නාහිර පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක සලකා බැලීමේදී, ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල 15% කින් ඉහළ ගොස් ඇති අතර, පර්චසයක සාමාන්‍ය මිල රුපියල් 769,097 ක්.
එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් මිල 10% කින් ඉහළ ගොස් ඇති අතර, පර්චසයක සාමාන්‍ය මිල රුපියල් 486,396 ක්.
නව නේවාසික ව්‍යාපෘති සහ යටිතල පහසුකම් සංවර්ධනය හේතුවෙන් ඇතැම් නගරවල මිල 30%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, ඉහළම වර්ධනයක් පෙන්නුම් කරමින් යක්කල සහ හෝමාගම නගර දෙකේම මිල 35% කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, යක්කල පර්චසයක මිල රු. 831,015ක් සහ හෝමාගම පර්චසයක මිල රු. 916,912ක්.
එම වාර්තාවට අනුව, කඩුවෙල, පන්නිපිටිය, මොරටුව සහ නුගේගොඩ යන ප්‍රදේශවලද 25% ඉක්මවූ මිල වර්ධනයක් දැකිය හැකියි.
කොළඹ නගර මධ්‍යයේ මිල ඉහළ යාම සාපේක්ෂව මන්දගාමී වී ඇතත්, කොළඹ 10 ප්‍රදේශය 25% කින් (පර්චසය රු. මිලියන 14.5) සහ කොළඹ 04 ප්‍රදේශය 17% කින් (පර්චසය රු. මිලියන 18.8) මිල ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, කොළඹ 06 සහ 13 වැනි ප්‍රදේශවල මිල ඉහළ යාම අවම මට්ටමක පවතිනවා.
