රජයේ වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක – නිෂිකා හංසනී

අද පෙරවරු 8 සිට දිවයින පුරා සියලු‍ම රෝහල්වල වෛද්‍යවරු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු සේවා 5 කින් වැළකී සිටින බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර අසාධාරණ වර්ජන හරහා රෝගී ජීවිත බිල්ලට ගන්නේ නම් ඊට අදාළව අවම බලය භාවිතා කිරීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි ප්‍රකාශ කළා.

වෛද්‍යවරුන්ගේ ගැටලු‍ විසදීමට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අසමත්වී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 23 වැනිදායි.

එම සංකේත වර්ජනය ඊයේ උදෑසන 8ට අවසන් වූ අතර ඉන් අනතුරුව රෝහල් තුළ දෛනික ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා.

මේ අතර, ඊයේ උදෑසන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව ද රැස්ව තිබුණා.

කෙසේ වෙතත්, මහනුවර පැවති උත්සවයකදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කියා සිටියේ ජනතාව අපහසුතාවට පත් කරමින් දිගින් දිගටම වර්ජන ක්‍රියාමාර්ගයන් සිදුවුවහොත් රජයක් ලෙස යම් යම් පියවර ගැනීමට සිදු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *