ප්‍රථමවරට රජයේ රෝහලකින් නළ දරු පරීක්ෂණ පහසුකම් – පහන් සිතුමිණ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රථම වතාවට නළ දරු පරීක්ෂණ පහසුකම් හෙවත් IVF (In Vitro Fertilization) ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දීමට කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල සූදානම් වෙනවා.

මෙතෙක් පෞද්ගලික රෝහල්වලට පමණක් සීමා වී තිබූ මෙම දියුණු වෛද්‍ය පහසුකම සාමාන්‍ය ජනතාව වෙත සමීප කිරීම මෙහි අරමුණයි.

කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන සඳහන් කළේ ඉදිරි මාස තුන ඇතුළත මෙම මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

ශරීරයෙන් බැහැරව රසායනාගාරයක් තුළදී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය කර පසුව එය ගර්භාෂය තුළ තැන්පත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා.

පැලෝපීය නාල අවහිරතා, ශුක්‍රාණු මදිකම සහ හෝර්මෝන ගැටලු සහිත අඹුසැමියන්ට මෙය ඉතා සාර්ථක විසඳුමක් බවයි සඳහන් වෙන්නේ.

වර්තමානයේ වර්ධනය වෙමින් පවතින වඳභාවය (Infertility) පිළිබඳ ගැටලුව හමුවේ, රජයේ සෞඛ්‍ය සේවාව හරහා මෙවැනි උසස් තාක්ෂණික ප්‍රතිකාර ලබා දීම ජාතික අවශ්‍යතාවක් බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *