දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන
දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීමට රුපියල් මිලියන 226කට අධික වටිනාකමින් යුත් මූල්‍ය සහනාධාර ප්රදානය කිරීමේ රාජ්‍ය උත්සවය, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (23) දින නාරාහේන්පිට, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී සංකේතාත්මකව ධීවරයින් වෙත මූල්‍ය සහාය සහතිකපත් ලබා දීමද සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, මෙම ආපදාව සුනාමි ව්‍යසනයටත් වඩා හතර ගුණයක ආර්ථික බලපෑමක් (ඇ.ඩො. බිලියන 4.3ක්) ඇති කළ බව පෙන්වා දුන්නේය. “රට දැඩි ආර්ථික අභියෝග මැද සිටියත්, අපේ රජය 200%ක්ම ධීවර ජනතාව සමඟ සිටිනවා. අපේ අරමුණ හුදෙක් තිබූ තත්ත්වයට පත් කිරීම නොව, නවීන තාක්ෂණය සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම කර්මාන්තය ශක්තිමත්ව ගොඩනැගීමයි,” යැයි අවධාරණය කළේය.
හානි පූර්ණය සහ රජයේ කඩිනම් ක්‍රියාමාර්ග පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ , ධීවර ක්ෂේත්රයට පමණක් රුපියල් කෝටි 765 ක (මිලියන 7,650 ක) දැවැන්ත හානියක් සිදුව ඇති බවත් කෙසේ වෙතත්, ධීවර ජනතාව යළි නගා සිටුවීමට පහත සහන අද දින සිට ලබා දෙන බවත්ය.
අහිමි වූ හෝ හානි වූ මිරිදිය ධීවර යාත්‍රා: අහිමි වූ හෝ අර්ධ වශයෙන් හානි වූ ඔරු 405ක් සඳහා රුපියල් ලක්ෂය බැගින් රුපියල් මිලියන 40.5ක ප්‍රතිපාදන හා දැල් ආම්පන්න: ධීවරයින් 3,246 දෙනෙකු සඳහා දැල් කට්ටල 12,423ක් ලබා ගැනීමට රුපියල් මිලියන 186.34ක මුදලක් ලබා දී ඇත.
අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා විද්‍යාත්මක හානි තක්සේරුවක් හරහා ඉතාමත් කෙටි කලක් තුළ මෙම අරමුදල් සෘජුවම ධීවර සමිති වෙත යොමු කිරීමට පියවර ගත් බවද සඳහන් කළේය.
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා, විපත හමුවේ ධීවර ප්‍රජාව දැක්වූ ධෛර්යය අගය කළ අතර, ලැබෙන ප්‍රතිපාදන ඵලදායීව යොදවා ගනිමින් නිෂ්පාදන ධාරිතාව පෙරටත් වඩා ඉහළ නංවා ගැනීමට එක්වන ලෙස ඉල්ලා සිටියේය.
