කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ iii වන අදියරේ මෙහෙයුම් කටයුතු ආරම්භ වේ!

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහලු පර්යන්තයේ (CECT) iii වන අදියරේ මෙහෙයුම් කටයුතු අද (23) ආරම්භ කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

එය කොළඹ වරාය සංර්වධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි සංධිස්ථානයක් වන අතර එමඟින් කොළඹ වරාය කලාපීය වශයෙන් ශක්තිමත් නාවුක මධ්‍යස්ථානයක් බවට පත් වේ.

නැගෙනහිර පර්යන්තයේ මෙම අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමත් සමග පර්යන්තයේ මුළු දිග වන මීටර් 1300 ප්‍රමාණයෙන් මීටර් 1090 ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කර තිබේ. ඉතිරිව පැවති ඉදිකිරීම් කටයුතුවලින් සියයට 82 ක ප්‍රමාණයක්ද මේ වනවිට අවසන් කර ඇත. නැගෙනහිර බහලු පර්යන්තයේ (CECT) මෙම තුන්වන අදියර විවෘත කිරීමත් සමග එම පර්යන්තයේ බහලු නෞකා 03 ක් එකවර මෙහෙයුම් කිරීමේ හැකියාව පවතින බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පර්යන්තයේ තුන්වන අදියරේ සමාරම්භය වෙනුවෙන් CMA CGM සමූහයට අයත් බහලු නෞකාවක් පර්යන්තයට සේන්දු විය. මේ වන විට එම නෞකාවේ බහලුම් මෙහෙයුම් කටයුතු සිදු වෙමින් පවතී.

2025 වර්ෂයේ දී නැගෙනහිර බහලු පර්යන්තය (CECT) පමණක් බහලු මෙහෙයුම් 500,000 කට අධික ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු සාර්ථකව සිදුකර තිබේ.මෙම නව පර්යන්ත කොටස විවෘත කිරීමත් සමග 2026 වර්ෂයේ දී නැගෙනහිර පර්යන්තයෙන් බහලු මෙහෙයුම් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් සිදුකිරීමට අපේක්ෂිතය. මේ සමගම දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ ප්‍රමිතිය තවදුරටත් ඉහළ යනු ඇත.

නැගෙනහිර බහලුම් පර්යන්තයේ (CECT) iii අදියරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමත් සමඟ ඉදිරියේදී එමඟින් ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට සැළකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වේ. නව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව වරාය සංවර්ධන කටයුතු කාර්යක්‍ෂම කිරීම, සේවක දායකත්වය වර්ධනය කිරීම හා මනා පරිපාලනය ඊට පිටුවහලක් වී තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ (විශ්‍රාමික), උප සභාපති ඉංජිනේරු හේරත් එම් ජයවර්ධන, කළමනාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුලු වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින් ද සහභාගී විය.

END/GONP/MMP/23012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *