“සලාම් රමසාන් 2026” ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ
බස්නාහිර පළාත් සභාව සහ කොළඹ මහා නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන “සලාම් රමසාන් 2026” (Salam Ramadan 2026) සංස්කෘතික උළෙල එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී අති උදකර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
පරිශුද්ධ වූ රමසාන් මාසය තුළ ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධය, ඇගයීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. 2025 වසරේදී ප්‍රථම වරට ආරම්භ වූ මෙම වැඩසටහන, එම වසරේ ලද අතිමහත් සාර්ථකත්වය මත පදනම්ව මෙවර දෙවන වරටත් සංවිධානය කර තිබේ.
“සලාම් රමසාන් 2026” උත්සවය පෙබරවාරි මස 27, 28 සහ මාර්තු 01 යන දිනවලදී කොළඹ ග්‍රීන් පාත් (Green Path / ආනන්ද කුමාරස්වාමි මාවත) හිදී සවස 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම තෙදින සංස්කෘතික මංගල්‍යය ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට අයත් මූර් (Moors), මැලේ (Malays), මේමන් (Memons) සහ බෝරා (Bohras) යන උප සංස්කෘතීන්හි අනන්‍යතාවයන් ලොවට විදහා දක්වන වේදිකාවක් වනු ඇත. මෙහිදී එම ප්‍රජාවන්ගේ සාම්ප්‍රදායික ආහාර පාන, ඇඳුම් පැළඳුම්, හස්ත කර්මාන්ත සහ සංස්කෘතික අංග රැසක් ප්‍රදර්ශනය කෙරේ.
මැදපෙරදිග රමසාන් වීදි අසිරිය සිහිගන්වන අයුරින් අලංකාරවත් ලෙස නිර්මාණය වන මෙම උත්සව භූමිය තුළ ප්‍රධාන සංස්කෘතික වේදිකාවක් ද ක්‍රියාත්මක වේ. එහිදී ගායනා, නර්තන, නාට්‍ය සහ බයිත් (Baith) ගායනා ඇතුළු විවිධ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට පාසල් සහ ප්‍රජා කණ්ඩායම්වලට අවස්ථාව සලසා දී ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ ඇගයීම් සම්මාන ද පිරිනැමීමට නියමිතය.
මීට අමතරව, මුස්ලිම් උරුමය පිළිබඳ අධ්‍යාපනික කුටි, නොමිලේ ලබාදෙන ආගමික සාහිත්‍ය ප්‍රකාශන, හැනා කලාව (Henna Art), අරාබි අක්ෂර කලාව (Arabic Calligraphy) වැනි සජීවී අත්දැකීම් රාශියක් නරඹන්නන් සඳහා විවෘත වේ.
ජාති, ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙම සුවිශේෂී සංස්කෘතික අත්දැකීම විඳගැනීම සඳහා සලාම් රමසාන් 2026 කමිටුව ඉතා ගෞරවයෙන් ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනාටම ආරාධනා කර සිටියි.
වැඩිදුර තොරතුරු සලාම් රමසාන් උත්සව ලේකම් කාර්යාලය 106/8, කිරුළ පාර, කොළඹ 05 යන ලිපිනය හෝ දුරකථන අංක +94 773 442 384 | +94 775 239 169 හෝ විද්‍යුත් තැපෑල mersumim@gmail.com හා සම්බන්ධව වීමෙන් ලබා ගත හැක.
