කැනඩාවේ ටික්ටොක් සීමා ඉවතට – හිරුණි ලක්ෂිකා

ටික්ටොක් ආයතනයට කැනඩාව තුළ දිගටම ක්‍රියාත්මක වීමට අවසර ලබාදෙමින් කැනඩා ෆෙඩරල් අධිකරණය බදාදා තීන්දුවක් ලබා දී තිබෙනවා.

ටික්ටොක් ආයතනයේ කැනේඩියානු මෙහෙයුම් වසා දැමීමට රජය ලබා දී තිබූ නියෝගය අධිකරණය විසින් අවලංගු කරන ලද අතර, මේ පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙස රජයට දැන්වූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම් පවතින බව පවසමින් කැනඩාවේ කර්මාන්ත අමාත්‍යාංශය 2024 නොවැම්බර් මාසයේදී ටික්ටොක් ව්‍යාපාරය විසුරුවා හැරීමට නියෝග කළා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදීත් ටික්ටොක් භාවිතා කිරීමට හෝ අන්තර්ගතයන් නිර්මාණය කිරීමට රජය බාධා පමුණුවා තිබුණේ නැහැ.

කැනඩාව තුළ මාසිකව මිලියන 14කට වඩා වැඩි පරිශීලකයින් පිරිසක් සිටින බව පවසන ටික්ටොක් ආයතනය රජයේ එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

ෆෙඩරල් අධිකරණ විනිසුරු රසල් සින් විසින් කෙටි තීන්දුවක් ලබා දෙමින් මෙම නියෝගය පසෙක තබා, කරුණ නැවත සමාලෝචනය සඳහා කර්මාන්ත අමාත්‍ය මෙලනි ජොලි වෙත යොමු කළා.

ඔහු ඒ සඳහා කිසිදු හේතුවක් ප්‍රකාශ කළේ නැහැ.

අමාත්‍ය ජොලි දැන් නව ජාතික ආරක්ෂක සමාලෝචනයක් සිදු කරනු ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර, නීතිමය රහස්‍යභාවය හේතුවෙන් වැඩිදුර අදහස් දැක්විය නොහැකි බව ද සඳහන් කළා.

ටික්ටොක් යනු චීනයේ ‘බයිට්ඩාන්ස්’ සමාගමට අයත් ආයතනයක්.

පසුගිය සැප්තැම්බර් මාසයේදී, දරුවන් ආරක්ෂා කිරීමේ සහ පුද්ගලික තොරතුරු රැකගැනීමේ උත්සාහයන් ප්‍රමාණවත් නොවන බව විමර්ශනයකදී හෙළිවීමෙන් පසු, ටික්ටොක් ආයතනය කැනේඩියානු වෙබ් අඩවියෙන් සහ යෙදුමෙන් දරුවන් ඈත් කර තැබීමට අවශ්‍ය පියවර වැඩිදියුණු කිරීමට එකඟ වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *