ජාතික හා පළාත් පාසල් විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී සාකච්ඡා
ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම හා ඒ සම්බන්ධ කටයුතු පිළිබඳව පාසල් පද්ධතිය තුළ පවතින මානව සම්පත් ඌනතාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී පසුගියදා සාකච්ඡා කෙරිණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කර ඇති මෙම අනුකාරක සභාව, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් රැස්වූ අතර, එහිදී මෙම කරුණු පිළිබඳ පුළුල්ව අවධානය යොමු කෙරිණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
අධ්‍යාපනයට අදාළ වෘත්තීය සේවාවන් පහේම සුදුසුකම් හා තනතුරු අනුව නිලධාරීන් ස්ථානගත කර ඇති ආකාරය පැහැදිලිව දක්වන අතර, ඉදිරි වසර පහ සඳහා පවතින පුරප්පාඩු පුරෝකථනය කළ හැකි වන පරිදි නව ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම ඇතුළු කාරක සභාව විසින් ඉදිරිපත් කළ යෝජනා මෙහිදී සාකච්ඡා විය.
ඊට අමතරව, විදුහල්පති පළමු ශ්‍රේණියේ තනතුරේ සිටින සියලු නිලධාරීන් විදුහල්පති තනතුර ම පමණක් දැරීම, සියලු සේවාවන්හි අවුරුදු හයක සේවා කාලයක් අවසන් වූ පසු අනිවාර්ය ස්ථානමාරු ක්‍රියාවලියකට යටත් කිරීම ඇතුළු යෝජනා රැසක් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අදහස් සහ යෝජනා මාස දෙකක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දී ඇති අතර, අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් නිර්දේශ සකස් කිරීමට නියමිත බව අනුකාරක සභා සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම රැස්වීමට අනුකාරක සභා සාමාජිකයන් වන ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා සහ සුගත් වසන්ත ද සිල්වා මහතාද සහභාගී වූහ.
