මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට මෙම වසරේ “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කෙරේ
මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදුනාගත් ප්‍රධානතම අභියෝගය බෝනොවන රෝග බවත්, එය පාලනයට හා වැළැක්වීමට සුදුසුම විසදුම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම බවත්, ඒ සදහා දැනට නියමු ව්‍යාපෘතියේ ක්‍රියාත්මක අත් දැකීම් ද පාදක කරගනිමින් මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , මේ මස 17 වෙනි දා, ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී පැවති ජංගම සුව සායනය එම වැඩසටහන් මාලාවේ 50වන වැඩසටහනට එක් වෙමිනි.
ශ්‍රී දළදා මාලිගාවේ සේවා කාර්ය මණ්ඩල, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය ආශ්‍රිත ආයතනවල කාර්ය මණ්ඩලය වෙනුවෙන් “ආරෝග්‍යා” ජංගම සුව සායනයට පවත්වන ලදි.
මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායනයේ දී අක්ෂි, දන්ත, දියවැඩියා, ශ්වසන පද්ධතියට අදාළ රෝග පරීක්ෂා කිරීම, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය, මානසික උපදේශක සේවා සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම ඇතුළු වෛද්‍ය සායන රැසකින් සමන්විත විය.
කොළඹ ජාතික රෝහල,මහනුවර ජාතික රෝහල ඇතුළු අවට රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් , වෛද්‍යවරුන් , හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එකසිය පනහකට අධික පිරිසක් තමසේවා දායකත්වය මෙම ජංගම සුව සායන සදහා ලබා දෙන ලදී.
සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” නව්‍ය වැඩසටහන යටතේ වතමන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස මෙම ජංගම සායනය පැවැත්විණි.
සායනයට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක ද නිරත විය.
එමෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් අතුරෙන් ප්‍රධාන වශයෙන් වාර්ථාවන රෝගී තත්ත්වයන් මෙන්ම අනෙකුත් කාලීන තත්ත්වයන් පිළිබදව ද අමාත්‍යවරයා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් කරුණු විමසීමටද කටයුතු කළ අතර විසදුම් ලබාදිය හැකි සමහර කාලීන කරුණුවලට විසදුම් ලබා දීමට ද පියවර ගත්තේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ලබන 24වනදා ප්‍රදේශ 42 දී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42ක් ආරම්භකරන බවත්, එහි නියමු ව්‍යාපෘතිය පසුගිය වර්ෂයේ දී නුවර, මාතලේ, කුරුණෑගල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යස්ථානවල මේවන ඉතා සාර්ථකව ක්‍රියාත්මකවන බව ද සදහන් කළේය.
යම් නිෂ්චිත ප්‍රදේශයක නිශ්චිත ජනගහනයකට මෙම මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය ජනතාව ප්‍රධාන රෝහල්වල සායන සදහා යොමුකරන බවද පැවසීය. මෙරට ජීවත්වන සෑම පුරවැසියෙකුටම වගකියන සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමක් බවත්, ඒවෙනුවෙන් කටයුතුකරන බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන්කර සිටියේය.
එම විශේෂ වැඩපිළිවෙලට සමාන්තරව “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන ක්‍රියාත්මකකරන බවත්, තවමත් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ඉදිකිරීමට යම් යම් කාලීන අපහසුකම් තිබෙන ස්ථාන වලට සහ ජනතා අවශ්‍යතාවය මත හදුනාගත් ස්ථානවලට මෙම ජංගම සුව සායන ක්‍රියාත්මක කරන බව ද මෙහි දී පැවසීය. පුරවැසියා පරීක්ෂාකර රෝග හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු කිරීමෙන් නීරෝගීමත් ජනතාවක් බිහිකිරීමට හැකියාව ලැබෙන බවත්, මෙහි ප්‍රමුඛ අරමුණ සහ බලාපොරොත්තුව එය බව ද අවධාරණය කර සිටියේය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1500කට අධික මුදලක් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සදහා වෙන්කර තිබෙන බවයි. මීට සමාන්තරව නවීන තාක්ෂණයද මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානවලට හදුන්වා දීමට කටයුතුකරන බව ද සදහන්කළ අමාත්‍යවරයා මෙම සියලු වැඩසටහන්වල අපේක්ෂාව පුරවැසියාගේ සෞඛ්‍ය වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගැනීම බව ද පැවසීය. ඒ සදහා ජනතාව වෙනුවෙන්ම කැපවුනු, කැපවෙන සෞඛ්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.
මෙරට සියලු ජනතාවට ශාරීරික සහ මානසික නීරෝගි ජිවිතයක් ගත කිරීමට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම, බෝ නොවන රෝග හදුනා ගැනීම අරමුණු කරගෙන පැවැත්වෙන මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන තෝරාගත් දුෂ්කර ප්‍රදේශවල ජනතාව හෝ නිෂ්චිත කණ්ඩායම් මෙන්ම විශාල පිරිසක් සේවයේ නියුතු සේවා ස්ථාන ප්‍රමුඛ කර ගනිමින් පැවැත්වේ.
පැමිණි ජනතාවගේ සර්වාංග රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා නොමිලේ ඖෂධ ලබාදීම මෙන්ම වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් රජයේ ප්‍රධාන රෝහල්වල සායන වෙත යොමු කිරීමට ද මෙහි දී කටයුතු කරන ලදී.
“ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන් මාලාවේ 2026 වර්ෂයේ පවත්වනු ලැබූ දෙවන වැඩසටහන මෙය වූ අතර එමගින් ප්‍රතිකාර ලබා ගැනීම සදහා දහසකට ආසන්න පිරිසක් සහභාගි වූහ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යකෂ (දන්ත සේවා) සහ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ප්‍රචාරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්, ශ්‍රී දළඳා මාළිගාවේ මහලේකම් රෝහණ කීර්ති දිසානායක, පරිපාලන ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඇතුළුව විශාළ පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
