පීඩාවට පත් පවුල්වල ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීමට “Rebuilding Sri Lanka” ප්‍රවේශය හරහා කටයුතු කරනවා – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

ශ්‍රී ලංකා රජය පැවති අපදා ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීමට “Rebuilding Sri Lanka” ප්‍රවේශය හරහා කටයුතු කරන බවත් ඊට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය “Healing Sri Lanka” නමින් නව සංකල්පයක් හඳුන්වා දී ඇති බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගියදා – 16 දා, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවති ප්‍රථම “ගෝළීය රැකවරණය සළසන්නන්ගේ සමුළුව 2026” (Global Caregiver Forum 2026) ට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාව පෙර මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දුන් බව පැවසු අමාත්‍යවරිය දෙමාපියන් ඇතුළු රැකවරණය සළසන්නන් තුළ වන කම්පනයන් සුවපත් කරමින් ඔවුන්ට අවශ්‍ය මානසික සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් ආපදාවට පත් පවුල්වල සාමාජිකයින්ගේ මනෝ-සමාජීය යහපැවැත්ම සංවර්ධනය කිරීම මීට අදාළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන බවද පැවසුවාය.

“Healing Sri Lanka” සංකල්පයේ අපේක්ෂිත ප්‍රතිඵල ලෙස දරුවන්ට උසස් මට්ටමේ පවුල් පාදක රැකවරණයක් සැළසීම තහවුරු කරන අතර එය රටේ ජාතික ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන කටයුතු කරන බවද පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරිය , ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය සඳහා ක්‍රියාත්මක කෙරෙන මුල් ළමාවිය දරුවන් ඉළක්ක කරගනිමින් හඳුන්වා දුන් ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වූ “Step – Up” සන්නිවේදන වැඩසටහන , 2027 වන විට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා හඳුන්වා දෙන පොදු විෂය මාලාව සහ ගුරුවරුන් 19,000කට ලබාදෙන විධිමත් පුහුණුව , මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැළැස්ම 2025 – 2029 , ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන් රැකබලා ගැනීම ඇතුළු අනෙකුත් කරුණු වෙනුවෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන පස් අවුරුදු වැඩසටහන් පිළිබඳව ද ජාත්‍යන්තරය දැනුවත් කළාය.

“පසු ආපදා තත්ත්වය තුළ ජන ජීවිත යථා තත්වයව පත්කිරීම උදෙසා ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති “Rebuilding Sri Lanka” සහ”Healing Sri Lanka” ප්‍රවේශයන් “ගෝළීය රැකවරණය සළසන්නන්ගේ සමුළුව 2026 දී රාජ්‍ය නායකයින්ගේ පැසසුමට‍ ලක් විය.

ස්පාඤ්ඤයේ ලෙටීසියා මහරැජිනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ LEGO Foundation ආයතන සමඟ එක්ව සංවිධාන කර තිබුණි.

මෙම සමුළුව ලොව පුරා සිටින රැකවණය සළසන්නන් (Caregivers) සහ දෙමාපියන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගීතා රාමුවක් සකස් කිරීම අරමුණු ගනිමින් විශේෂඥ සාකච්ඡා සහ ක්‍රියාකාරකම් රාශියක් අන්තර්ගත කරගනිමින් පැවැත්විණි.

ඒ අනුව, “අනාගත දැක්ම සහ ඉදිරි පියවර” (Looking forward and next steps) යන මැයෙන් පැවති සමාප්ති සැසිය සඳහා සාකච්ඡා මණ්ඩප සාමාජිකයෙකු ලෙසින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියද සහභාගී විය.

ඒ සඳහා අනෙකුත් සාමාජිකයින් ලෙස කසක්ස්තානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය Aliya Rustemova මහත්මිය, Triple P Positive Parenting Programme හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) Matt Buttery මහතා, පෘතුගාලයේ, Santa Casa, Boavista Training and Development Center හි අධ්‍යක්ෂ Catarina Magalhães මහත්මිය, අයර්ලන්තයේ Family Resource Centre National Forum හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ Fergal Landy මහතා ද එක්ව සිටියහ.

END/GONP/MMP/19012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *