අයිතීන් සඳහා වූ පොන්ගල් උත්සවයක්!
ශ්‍රී ලංකාවේ මලෛයහ – කඳුකර දෙමළ ප්‍රජාවේ සාමාජිකයින් ජනවාරි 15 වෙනි දා – බ්‍රහස්පතින්දා පස්වරුවේ කොළඹ ලිබර්ටි වටරවුමට රැස්වී, පරම්පරා ගණනාවක් තුළ ආන්තිකකරණයට ලක් වූ සිය ප්‍රජාවගේ ඉඩම් සහ නිවාස අයිතිය මෙන් ම, ගරුත්වයක් ඇතිව ජීවත්වීමේ අයිතිය ඉල්ලා සිටිමින් 2026 තෛපොංගල් උත්සවය සමරන්නට විය. පුත්තලම දිස්ත්‍රික්කයේ සෙව්වන්තිව් ගම්මානයේ දෙමළ ජනතාව ද පොංගල් සැමරීමට එක් වූයේ තමන් වෙත එල්ලවන අවතක්‍සේරුව සහ වෙනස්‍කොට සැළකිම් අවසන් වී සමෘද්ධිමත් ජීවිත ගතකරන්නට හැකිවෙිවා යන ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙනය.
“මලෛයහ ප්‍රතිසංස්කරණ සඳහා වූ සිවිල් සමාජ සන්ධානය” විසින් සංවිධානය කරන ලද “අයිතිවාසිකම් සඳහා පොංගල්” යන මැයෙන් කොළඹ පැවති උත්සවයේදී වතු ප්‍රජාව, ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයින් එක්වී, සිය අයිතීන් පිළිබඳව මෙන් ම විශේෂයෙන් මෑත දී ඇතිවුණු දිට්වා කුණාටු ආපදාවලින් , විපත්වලින් පසු මලෛයහ ජනතාව මුහුණ දී ඇති අසාධාරණයන් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළේය.

“මලෛයහ ජනතාව මේ රටට ඇවිත් වසර 203 ක් වුනත් තවමත් ඉඩමක අයිතියක් නැති කණ්ඩායමක් විධියට තමයි ජීවත්වෙන්නේ. ඒ නිසා මෙතාක් පත්වෙච්ච සියලු ආණ්ඩුවලට අපි කිව්වා ඒ ජනතාවට ලබාදෙන ඉඩම්වලට ඔප්පුවක් ලබාදෙන්න කියලා. නමුත් එහෙම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා, මෑතදී ආපදාවට ලක්වෙච්ච බොහෝ දෙනෙක් අවතැන් කඳවුරුවල ඉන්නවා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලබාදෙනවා කියපු ලක්‍ෂ 50, මේ ජනතාවට ලබාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.” යැයි වතුකරයේ ජනතා හඩ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක ඇන්තනි ජේසුදාසන් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

ඇන්තනි ජේසුදාසන් සහ සුරේෂ් ජීවරත්නම්
එමෙන් ම, අයිෆෙන් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක ජීවරත්නම් සුරේෂ් ද ප්‍රකාශ කළේ , “අපිට තවමත් බැරිවෙලා තියෙනවා සතුටින් අපේම කියන ගෙමිදුලක පොංගල් හදන්න. ඒ පණිවුඩය සමස්ත සමාජයට දෙන්න නිසා තමයි පාරට ඇවිත් පොංගල් හදන්න අපි තීරණය කළේ. ශ්‍රී ලාංකීක පුරවැසියන් හැටියට අපි ඔක්කොම එකයි. නමුත් මේ පහුගිය කාලේ තිබුණු ආණ්ඩු සහ පවතින ආණ්ඩුව හැමදාම කළේ අපිව වෙන්කරලා, කොන්කරලා තනිව ගමනක් යෑමයි. ගංවතුර ආපදා ක්‍රියාවලිය තුළත් , සංවර්ධන ක්‍රියාවලිය තුළත් අපිව අතහැරලා. ඒ ගැන අපට කණගාටුයි.”
“ආරක්‍ෂක අමාත්‍යංශයේ නිකුත් කළ චක්‍රලේඛණය තුළ මලෛයගම් ජනතාව ඇතුලත්වෙලා තිබෙනවාද කියන එක අපිට ප්‍රශ්නයක් ? අපිට සාධාරණයක් ඉටුකරන්න තරම් මේ ආණ්ඩුවත් සුදානම් නැහැ කියලා තමා අපිට පෙනෙන්නේ.” යනුවෙන් ද ජීවරත්නම් සුරේෂ් කීවේය.
මලෛයහ ප්‍රජාවේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ: ලයින් කාමර නිවාස වෙනුවට තනි නිවාස, ආරක්ෂිත නීත්‍යානුකූල හිමිකමක් සහිත ඉඩම්, නිසි යටිතල පහසුකම් සහිත නව ගම්මාන පිහිටුවීම, රාජ්‍ය නායකත්වයෙන් යුත් සහ සිවිල් සමාජයේ සහාය ඇතිව ආපදාවෙන් පීඩාවට පත් මලෛයහ ජනාවාස නැවත ගොඩනැගීම වන අතර, සිංහල සහ දමිළ භාෂාවලින් සකස්කළ මෙම ඉල්ලීම් සහිත පත්‍රිකාවක් ද එම අවස්ථාවේදී බෙදාහරිනු ලැබිණි.
මේ අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ සෙව්වන්තිව් ගම්මානයේ දෙමළ ප්‍රජාව ද එදින උදෑසන පොංගල් උත්සවය සැමරීම සඳහා ශ්‍රී ශිව සුබ්‍රමනියම් කෝවිලට රැස් වූහ.

පිරිමින්, කාන්තාවන් සහ ළමයින් යන දෙපිරිසම සාම්ප්‍රදායික, ඉතා වර්ණවත් ඇඳුම් වලින් සැරසී සිටියහ. සියලු අමුද්‍රව්‍ය සමඟ පොංගල් සූදානම් කළහ. සෙව්වන්තිව් ගම්මානයේ සියලුම පවුල්වල සහභාගීත්වයෙන් පෙ.ව. 10.30 ට කෝවිලේ කුරුක්කල් විසින් පූජාව පවත්වන ලදී. පූජාවෙන් පසු, ඔවුන් තමන් විසින් සකස් කරන ලද පොංගල් බෙදා ගත් අතර එකිනෙකාගේ ආදරය හා සෙනෙහස බෙදා ගනිමින් කෝවිලේදී එය රස බැලූහ.
සෙව්වන්තිව් ගම්මානයේ පොංගල් උත්සවයට සම්බන්ධ වුණු දීපා ප්‍රනාන්දු සහ ශිරෝමි ප්‍රනාන්දු පැවිදි සොයුරියන්ට අනුව, මෙම ප්‍රජාව ද තම පවුල්වලට සහ ගමට ආශීර්වාද කරන ලෙසත්, ඔවුන්ට බලපාන වෙනස්කම් කිරීම අවසන් වී සමෘද්ධිය අත්කර ගැනීම සදහාත් ප්‍රාර්ථනා කළහ.
“මේ ගමේ මිනිස්සුන්ගේ හැගීම තමයි ඔවුන් දෙමළ වීම නිසා ම ඔවුන්ව කොන්කරනවා, ඔවුන්ට අඩු සැළකිල්ලක් දක්වනවා කියන හැගීම. මෑතදී හටගත් ගංවතුර අවස්ථාවේදිත් , අඩි 08ක් උසට ජලය ගැලුවත් ඔවුන්ට සහය වෙන්න කිසිවෙක් නොපැමිණි බවත් ඉන් පසුව වුවත් ලැබුණු අවම ආධාර හෝ පහත් මට්ටමක තිබුණු බවත් ඔවුන් ප්‍රකාශ කළා” යැයි දීපා පැවිදි සොයුරිය කීවෙිය.
“නමුත් ගමක් විධියට , ඔවුන් තුළ තිබෙන එකමුතුකම ඉතාම ප්‍රශංසනීයයි. මේ ගමේ ජීවත්වන සිංහල පවුල් කිහිපය සමග ඔවුන් ඉතාම එකමුතුවෙන් ජීවත්වෙනවා. ඉතිං මේ පොන්ගල් උත්සවය තුළිනුත් ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ දෙමළ වීම තුළ ඔවුන් වෙත බලපාන වෙනස්කම් මගහැරී සැවොම එකසමානව ජීවත්වන්නට අවශ්‍ය පසුබිම සැකසෙන්න කියලා” යැයි දිපා පැවිදි සොයුරිය ප්‍රකාශ කළේය.

– මෙලනි මානෙල් පෙරේරා
