ජාතික නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

“තමන්ගේ තැනක් – ලස්සන ජිවිතයක් “ තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන උතුරු පළාතේ චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිශාලේ ග්‍රාමනිලධාරී වසමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 16වැනි දින ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එම වැඩසටහනට සමගාමීව රුපියල් ලක්ෂ 20ක වටිනාකමින් යුතු චෙක්පත් 500 ක් ලබාදීමට සැළසුම් කර ඇති බව පවසන ඒ මහතා එම මුදල අදියර තුනක් යටතේ ලබා දෙන බවද පැවසීය.

ජාතික නිවාස සංවර්ධන වැඩසටහන යටතේ 2026 වර්ෂයේ නිවාස ඒකක 31,318ක් ඉදිකිරීමට සැළසුම් කොට ඇති බව පැවසූ ඒ මහතා ඉන් නිවාස 18,229ක් නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශය මගින් ඉදි කෙරෙන බව පෙන්වා දුන්නේය.

එසේම අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 13,347 ක්ද රාජ්‍ය සේවකයන් සඳහා නිවාස 1000ක්ද ඉදි කෙරෙන බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්දියානු ආධාර යටතේ ඉදි කෙරෙන එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10 ක් ලබා දෙන අතර රජයෙන් රුපියල් ලක්ෂ දෙකක් ලබා දෙන බවද කීය.

උතුරු නැගෙනහිර නැවත පදිංචිකිරීම් සඳහා නිවාස 2500 ක් ඉදිකිරිමට සැළසුම් කර ඇති බවත් එම එක් නිවාසයක වටිනාකම ලක්ෂ 20ක් වන බවත් ඒ සඳහා රුපියල් මිලියන 5000ක් වැය කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තවද ඉදිකිරීම් අතරමග නතර වී ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් නිමකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද මාධ්‍යවේදියකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

END/GONP/MMP/13012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *