ගාලු වරාය සංවර්ධනය කරන්නට ව්‍යාපෘතියක්!

ගාලු වරායේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාල පාර්ශව සමඟ ගාලු වරාය පරිශ්‍රයේ වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී පළමුවෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ ගාල්ල වරාය සංවර්ධනය සම්බන්ධව විවිධ යෝජනා අදහස් ඉදිරිපත් වී ඇති අතර, ඒවාද එකතු කර ගනිමින් අදාල සියලු පාර්ශවයන්ගේ අදහස් ද ලබාගෙන යෝජනාවලිය සකස් කර එය ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි.

ගාලු වරායේ පිහිටීම සහ වර්තමාන පසුබිම සම්බන්ධයෙන් වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ වරයා පළමුව පැහැදිලි කිරීම සිදු කළේය. වරායට සමීප ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුව හා ගොඩනැගෙන සංචාරක ව්‍යාපාරයද වරාය සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත් විය යුතු බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතියේ අන්තර්ගත මූලික කරුණු මෙහිදී සාකච්ඡා කෙරුණි. එම විෂය පථය තුළ දිය කඩනයන් දෙකක් ඉදිකිරීම, නෞකා ප්‍රවේශ මාර්ගය ගැඹුරු කිරීම, මගී පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම, වෙරළ භූමි ප්‍රදේශ කොටසක් ගොඩකර සංවර්ධනය කිරීම ආදී කරුණු ඇතුලත් වේ. සාකච්ඡාවේදී වරාය සංවර්ධන ව්‍යාපෘතියේ දැනට ඇති ප්‍රගතිය විමසා බැලිණි.එහිදී  මේ වන විට පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස්කර ඇති බවත් එය යාවත්කාලීන විය යුතු බවත් ප්‍රකාශ විය. වෙරළ භූමිය ගොඩකිරීම සඳහා ඉංජිනේරු අධ්‍යයනය සම්පූර්ණ කර ඇති  බවද අණාවරණය විය. ඒවා වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර තිබේ.

මෙහිදී දැන‍ට පැන නැගී ඇති ගැටලු ගැනද විමසා බැලිණ. ගාලු උරුමය පදනම හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජල විද්‍යාත්මක තොරතුරු තක්සේරුවක්ද ලබා ගැනීමට කටයුතු සිදු වෙමින් පවතී. එමෙන්ම ගාලු වරයේ දැනට පවතින වත්කම් පිළිබඳව තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තාවක්ද ලබා ගැනීමටද ඉල්ලීමක් කර තිබේ. සාකච්ඡාවේදී අදාල ආයතන නියෝජිතයින් තවත් ගැටළු ගැන අදහස් ප්‍රකාශ කළ අතර ඒවා ගැනද පොදුවේ සාකච්ඡා කෙරිණි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ගාලු පුරවරයේ ජනතාවටත් සංචාරක ‍‍‍ක්‍ෂේත්‍රයටත් විශාල ප්‍රතිලාභ අත්වන බවද පැහැදිලි කෙරිණ.

අවසානයේ නැවත අදාල ආයතන හා පාර්ශව සමඟ ඉක්මණින් සාකච්ඡාවක් කැදවීමට තීරණය විය. එමෙන්ම ධනාත්මක යෝජනා සංයුතියක් සහ එකඟතාවක් මඟින් ගාලු සංවර්ධන ව්‍යාපෘතිය ඉක්මණින් ආරම්භ කිරීමට හැකි බවද ශ්‍රී ලංකා වරාය අධීකාරියේ අදහස විය. අනතුරුව අමාත්‍යවරයා නිලධාරීන් සමඟ ගාලු වරාය පරිශ්‍රය සහ ජැටියේ වර්තමාන තත්ත්වය නිරීක්‍ෂණය කිරීමටද පැමිණියහ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යය නලින් හේවගේ මහතා සහ කෝප් කමිටු සභාපති ආචාර්ය නිශාන්ත සමරවීර මහතාද ඊට සහභාගී විය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් සභාපති, අද්මිරාල් S.S.රණසිංහ කළමණාකාර අධ්‍යක්‍ෂ ඝණක හේමචන්ද්‍ර යන මහත්වරුන් ප්‍රමුඛ ජේෂ්ඨ නිලධාරීන් සාකච්ඡාවට එක්වූහ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් W.A.ධර්මසිරි මහතා සමඟ අදාල රාජ්‍ය ආයතන නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.

END/GONP/MMP/13012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *