2026 වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්

2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා පවසයි.

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව එහි ප්‍රමුඛ කාර්යයක් වන අවශ්‍ය මූල්‍ය සහාය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින්ට බැංකු පද්ධතිය හා එක්ව ලබාදීමේ කාර්යය ඉටුකරන බවද සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 95 ක පමණ මුදලක් මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට, පවත්නා ව්‍යාපාර පුළුල් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණය ලබාගැනීම සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසුවේය.

2026 වසර තුළ රජයක් වශයෙන් ළඟා කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක රාශියක් පවතින බවද, විශේෂයෙන් අපනයන අභිමුඛ නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා යෑමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය තුළ සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විශේෂ බවද එමනිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස පිළිගෙන ඇතැයිද පැවසුවේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විශාල බලපෑමකට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නැවත සිය ව්‍යාපාර කටයුතු ඇරඹීමට අවශ්‍ය වූ බවද ඒ සදහා ඉතා ක්ෂණික පොළී කාරක ප්‍රාග්ධන ණයක් සදහා රජය විසින් රුපියල් බිලියන 10ක් (මිලියන 10,000ක්) වෙන් කළ බවද පැවසුවේය.

රාජ්‍ය බැංකු සමග මෙම ණය යෝජනා ක්‍රමය දෙසැම්බර් අවසාන සතියේ ආරම්භ කළ බවද මේ වන විට පෞද්ගලික අංශයේ බැංකු ද මේ සදහා දායක කරගැනීමට කටයුතු කරමින් සිටින බවද පැවසූ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 3%ක් වැනි ඉතාම අඩු පොළී ප්‍රතිශතයකට උපරිම රුපියල් මිලියන 25ක් දක්වා මෙම සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට බැංකු පද්ධතිය හරහා ලබාදීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.

මේ සදහා මාස 06ක සහන කාලයක් සමග අවුරුදු 03ක ගෙවීම් කාලයක් ලබාදෙන බවද පැවසුවේය. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සියලුම බලපෑම් වලට ලක්වූ ව්‍යාපාර, ව්‍යවසායකයින් සදහා මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබාගත හැකි බවද සඳහන් කළේය. සීමා කිරීමකින් තොරව ආපදාවට ලක්වූ සියලුම ව්‍යවසායකයින්ට ඕනෑම ආර්ථික කටයුත්තක නියැලී සිටියද මෙම ණය මුදල බැංකු පද්ධතිය හරහා ලබාගත හැකි බව අවධාරණය කළේය.

ඍට අමතරව ණය යෝජනා ක්‍රම 08ක් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට කාරක ප්‍රාග්ධනයට අමතරව, ව්‍යාපාර පුළුල් කරගැනීමට සහ නව තාක්ෂණය ලබාගැනීමට අවශ්‍ය වන බැවින් රජය ඒ සඳහා මෙම වසරේ රුපිියල් මිලියන 25,000ක් වෙන්කර ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

END/GONP/MMP/12012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed