අම්පාර, මඩකලපුව, යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට වැඩි අවධානයෙන් පසුවන්නැයි දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් අම්පාර, මඩකළපුව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව, යාපනය සහ උතුරු ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
පවතින කාලගුණික තත්ත්වය අනුව ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයේ තීව්‍රතාවය මත ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිට සමස්ත ගංගාවල ජල මට්ටම් අවදානම් මට්ටමට වඩා පහළ මට්ටමක පවතින අතර, සමස්ත ජලාශවල ධාරිතාව 80% සිට 90% දක්වා පවතින බවයි.
මේ වනවිට ප්‍රධාන ජලාශ 73 අතරින් ප්‍රධාන ජලාශ 25ක් වාන් දැමීම සිදු කර ඇති අතර, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 24ක් වාන් දැමීම හෝ වාන් දොරටු විවෘත කිරීම සිදු කර ඇති බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව විශේෂයෙන් නැගෙනහිර, උතුරු, උතුරු මැද, මධ්‍යම, දකුණු සහ ඌව පළාත් ආවරණය වන ජලාශවල වාන් දොරටු විවෘත කිරීම සහ වාන් දැමීම සිදු වෙමින් පවතින බවද සඳහන් කළේය.
නැගෙනහිර පළාතේ සේනානායක සමුද්‍රය මේ වනවිට අඩු ජල මට්ටමක පවතින නමුත් එම දිස්ත්‍රික්කයේ ඇතැම් ජලාශ වාන් දැමීම සිදු කරමින් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය. මඩකළපුව දිස්ත්‍රික්කයේ මාඳුරු ඔය සහ මුන්දෙනි ආරූ ගංගා දොණිවල ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් පවතින අතර, මේ වනවිට මාඳුරු ඔය වාන් දැමීම සිදු කර ඇති බවත්, යාන් ඔය සහ පදවිය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවත් ඔහු කියා සිටියේය.
එසේම පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල බොහෝ ජලාශවල වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බවද සඳහන් කරමින්, අදාළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
