විගමිණක ශ්‍රමිකයන් වෙනුවෙන් සුබසාධන රැසක්

පසුගිය වසරේ විදේශ රටවල් සමග රටට හිතකර ගිවිසුම් රැසකට සම්බන්ධ වූ බවත් කොන්සියුලර් සේවාව ශක්තිමත් අංශයක් බවට පත් කිරීමට කටයුතු කළ බවත් විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළ බවත් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

වසර ගණනක් පැරණි විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙහි අඩුපාඩු රැසක් පවතින බව එහිදී සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම වසරේදී එම පනත සංශෝධනය කර විදේශ රැකියා පනත නමින් නව පනතක් ගෙන එන බව සඳහන් කළේය.

එසේම විදේශ ශ්‍රමිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර රැසක් ගන්නා බව පැවසූ ඒ මහතා ඔවුන් සඳහා රුපියල් මිලියන 10ක නිවාස ණයක් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.තවද ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විගමණික ශ්‍රමිකයන්ගේ ගැටලුවලට සෘජුව මැදිහත් වී ඒවා විසඳීමට කටයතු කරන බවද හෙතෙමෙ වැඩිදුරටත් පැවසීය.

තවද ඔවුන්ට යම් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණිලි කිරීමට හැකි බවත් ඒ සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක් හඳුන්වා දීමට නියමිත බවද සඳහන් කළේය.

END/GONP/MMP/06012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed