අධ්‍යාපනය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන්නේ පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් – අගමැති
රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් බවත් කාලයක් පුරා අධ්‍යාපන ක්‍රමයේ තිබූ අඩුපාඩු අධ්‍යයනය කරමින් ඒවාට විසඳුම් වෙනුවෙන් මෙම ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය , අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ – 04, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම අධ්‍යපාන ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රමානුකූලව සැළසුම් කරමින් මේ වනවිට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස වෙනුවෙන් මෙම වසරේ අයවැයෙන් රුපියල් මිලියන 24,986ක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවද ඇය එහිදී සඳහන් කළාය.ඒ අනුව විෂය මාලා සංවර්ධනයට රුපියල් මිලියන 6084ක් මානව සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 1026ක් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 17,545ක් තක්සේරු ක්‍රමය සහ ඇගයීමේ ක්‍රමය දියුණු කිරීමට රුපියල් මිලියන 298ක් සහ මහජන දැනුවත් කිරීම සඳහා රුපියල් මිලියන 36ක් වෙන් කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පාසල් අධ්‍යාපන විෂය මාලාව වසර අටකට වරක් වෙනස් විය යුතු බවට සම්ප්‍රදායක් පවතින බව පෙන්වා දුන් අගමැතිවරිය කාලයක් තිස්සේ එම සංශෝධනයන් සිදු නොවූ බවත් විෂය මාලා සංවර්ධනය පිළීබඳව මේ වනවිට සමාජයේ විශේෂ අවධානයක් ඇති වී ඇති බවත් ඇය සඳහන් කළාය.විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීමේදී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේදී දරුවන් ඉගෙන ගැනීම කළ යුතු වන්නේ විෂය කරුණු කටපාඩම් කර වසර අවසානයේ පැවැත්වෙන විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව එහි ඇගයීමට පමණක් බවත් මෙම ප්‍රතිසංස්කරණයේදී එසේ ඇගයීමට ලක්වීමට එහා ගිය තමන්ට අවශ්‍ය කුසලතා නිරන්තරයෙන් දියුණු කර ගනිමින් අධ්‍යාපනය ලැබීමේ ක්‍රමයක් හඳුන්වා දීම බව ඇය අවධාරණය කළාය.
එහිදී පන්ති කාමරයේ ඉගැන්වීම් සිදු කරන ආකාරය , දරුවන්ට යොමු වන මොඩියුල හඳුන්වා දෙන ආකාරය ,ඇගයීම සිදු විය යුතු ආකාරය පිළිබඳ සියලු කාරණා සළකා බැලීමෙන් අනතුරුව විෂය මාලා සංවර්ධනය සිදු කර ඇති බව ඇය සඳහන් කළාය.මේ හරහා මුල් අදියරේදී පළවන ශ්‍රේණියට සහ හයවැනි ශ්‍රේණියට 2026 වසරේදී විෂය මාලා සංවර්ධනය හඳුන්වා දෙන බවද ඇය පෙන්වා දුන්නාය.හෙට ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය තුළ පළමු ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි මස 29වැනි දින සහ හය ශ්‍රේණියේ දරුන්වට ජනවාරි මස 21වැනි දින මෙම නව විෂය මාලාව හඳුන්වා දීමට කටයුතු කර ඇති බවද ඇය කීවාය.
විෂය මාලාව හඳුන්වා දීම පමණක් නොව එයට සමගාමීව දරුවන් මෙම නව විෂය මාලාවට හුරු කිරීමට වැඩසටහන් සංවිධානය කර ඇති බවත් දෙමාපියන්ට හඳුන්වා දීම සඳහාද වැඩසටහන් සංවිධානය කරන බවද ඇය එහිදී සඳහන් කළාය.එහිදී විෂයන් තෝරා ගත යුතු ආකාරය පිළිබඳව දරුවන් හා දෙමාපියන් දැනුවත් කරන බවද ඇය වැඩිදුරටත් පැවසීය.එසේම මෙම විෂයමාලාව උගන්වන ගුරුවරුන් පුහුණුකිරීමටද විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බවද පෙන්වා දුන් අගමැතිවරිය ඒ යටතේ පුහුණූකරුවන් පුහුණුකිරීමේ වැඩටහන් 7181ක් සිදු කර ඇති බවත් රට පුරා ගුරුවරුන් 132,580ක් සඳහා පුහුණුව ලබා දී ඇති අතර එම ගුරුවරුන් සියයට 93කට එම පුහුණූව ලබා දී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.මීට සමගාමීව නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා අවධානය යොමු කර ඇති බව පෙන්වා දුන් ඇය ඒ සඳහා පාසල් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද පැවසීය.සෑම දිස්ත්‍රික්කයකම සෑම කොට්ඨාසයකම අක්‍රියව පැවති ව්‍යුහ කමිටු නැවත සක්‍රීය කර එම කමිටු හරහා සංවර්ධනය කළ යුතු පාසල් හඳුනා ගනිමින් දියුණු කළ යුතු පාසල් හඳුනාගනිමින් ඒවා සංවර්ධනය කරන වැඩසටහනක් සංවිධානය කර ඇති බවද ඇය කීය.
නූතන අධ්‍යාපන ක්‍රමයට සමගාමීව දරුවන්ට ලැබිය යුතු යටිතල පහසුකම්, ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ටද ලැබිය යුතු බව පවසන අගමැතිවරිය පාසල් පරිපාලනය දියුණු කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්තීන් සහ යටිතල පහසුකම් ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බවද ඇය වැඩිදුරටත් පැවසීය.
මේවන විට අගමැති කාර්යාලය මගින් ඩිජිටල් කාර්යය සාධක බලකායක් පත්කර අධ්‍යාපන ක්‍රමය ඩිජිටල්කරණය කිරීමට වැඩපිළිවෙළ මෙම වර්ෂයේ හඳුන්වා දීමට නියමිත බවද ඇය පැවසීය.ඒ අනුව සියලුම අධ්‍යාපන පරිපාලන කටයුතු ඩිජිටල්කරණය කිරීමේ කටයුතු මෙන්ම විශේෂයෙන්ම ද්විතියික පාසල්වල ඩිජිටල්කරණයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද ඇය කීවාය.මාර්තු මාසය වන විට අධ්‍යාපනය ඩිඩිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.සමස්ත පද්ධතිය තුළම ඇති විය යුතු ව්‍යුහාත්මක වෙනස විශේෂයෙන්ම යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත දියුණු කිරීමද අවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.ගුරුවරුන් පුහුණූ කිරීමේ විෂය මාලාව වසර 16කින් පමණ වෙනස් කොට නැති බව පෙන්වා දුන් අගමැතිවරිය එම විෂය මාලාව මේ වනවිට වෙනස් කර ඇති බවද පෙන්වා දුන්නාය.නව විෂයන්වලට අදාල වන පරිදි ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් ගුරුවරුන් බඳවා ගැනීම වැඩි කර ඇති බවත් වසර ගණානවක සිට පැවති මානව සම්පත් හිඟය පියවීමට හැකි වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.වසර පහක පමණ කාලයක සිට පැවති නඩු කටයුතු හේතුවෙන් ගුරුවරුන් බඳවා ගැනීමට නොහැකි තත්වයක් පැවති බව පෙන්වා දුන් අගමැතිවරිය පසුගිය වසරේ විද්‍යාපීඨ ගුරුවරුන් 3987ක් බඳවා ගැනීමට කටයුතු කළ බවත් නඩු කටයුතු හේතුවෙන් බඳවා ගැනීම් සිදු කිරීමට නොහැකි වූ තත්වයෙන් නිදහස් වීමට හැකි බවද බවද ඇය කීය.
