“අපේක්ෂා” රෝහලේ ළමා ඒකකය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරියගේ නිරීක්ෂණයට
“අපේක්ෂා” රෝහලේ (ජාතික පිළිකා ආයතනය) ළමා ඒකකය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පසුගියදා – 01දා , නිරීක්ෂණය කළාය.
මෙම ළමා වාට්ටු සංකීර්ණය වෙත ඇතුළු වීමේදී එය කුඩා දරුවන්ට ප්‍රියජනක ස්ථානයක් ලෙසින් සැළසුම් කර ඇත.
මෙම අවස්ථාවේදී වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ පිලිකා තත්ත්වයෙන් සුවය ලැබූ පසු දරුවන් නැවත අධ්‍යාපනයට යොමු වීමේ මදිකමක් දක්නට ලැබෙන බවයි. මෙයට හේතූන් ලෙස පාසල් පරිසරයෙන් ඈත් වීම, සෞඛ්‍ය සංකූලතා මත සෙල්ළම් ඇතුළු දෛනික ක්‍රියාකරකම් වලින් ඈත් වීම, පවුල තුළ උද්ගත වන ආර්ථික ගැටළු සහ විධිමත් අධ්‍යාපන අවස්ථා මගහැරීම වැනි තත්ත්වයන් සැළකිය හැකි බවද ඔවුන් සඳහන් කළහ.
මෙම තත්ත්වයට විසඳුමක් ලෙස නේවාසික ප්‍රතිකාර කාලසීමාව තුළදීම අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සහ සෙල්ළම් කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති අතර එම “සෙල්ළම් ගෙදර”, “පංති කාමරය” අමාත්‍යවරිය නිරීක්ෂණය කළාය.
එහි දැනටමත් දරුවන් වෙනුවෙන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන අතර දමිළ මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ගුරුවරයෙකුගේ අවශ්‍යතාව පවතින බව ද මෙහිදි අවධානය යොමු විය.
මීට අමතරව ළමා දැඩි සත්කාර ඒකකය (PICU) වෙත යොමු කෙරෙන දරුවන් අතුරින් ජීවිතයෙන් සමුගන්නා දරු පැටවුන්ගේ මව් වරුන් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ප්‍රතිකාර ලබන දරුවන්ගේ දෙමව්පියන්ගේ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම සහ ඔවුන් විශාදය වැනි භායානක තත්ත්වයන්ට පත්වීම වළක්වා ගැනීම සඳහා ශක්තිමත් උපදේශන ක්‍රියාවලියක අවශ්‍යතාවය පවතින බවද අවධානයට යොමු විය.
මෙම සියලු අවශ්‍යතා සළකා බලමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව කළ හැකි උපරිම මැදිහත්වීම සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ සෙල්ළම් බඩු ඇතුළු තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද අපේක්ෂා රෝහල වෙත බාර දීමද මෙහිදී සිදුවිය.
මෙම නිරීක්ෂණ අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, ජාතික පිළිකා ආයතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රභානි මද්දුමාරච්චි මහත්මිය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක ඇතුළු ජාතික පිලිකා ආයතනයේ ළමා ප්‍රතිකාර ඒකකයේ නිලධාරීන්, හෙද සොහොයුරියන් ද එක්ව සිටියහ.
