11වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙල 2025
යාපනය පුරා විසිර සිටින සිනමා ලෝලීන්ගේ පමණක් නොව ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ගේත් ලොවපුරා සිනමාකරුවන්ගේත් අවධානයට හා නොමද ආදරයට පාත්‍ර වූ 11වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙල දෙසැම්බර් 30 සවස 6.15ට යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
ආරම්භයේ දී චිරාගත සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන්සිළු දල්වා උළෙලට ආශීර්වාදය එක් කළේ යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් ශ්‍රී සායි මුරලි මහතා ඇතුළු විශේෂ අමුත්තන්ය. සමාරම්භක අවස්ථාවට ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා, බ්‍රිතාන්‍ය කවුන්සිලය නියෝජනය කරමින් පවලක්ෂන් පරරාජසිංහම්, යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨාධිපති ආචාර්ය එස්. රාඝුරාම්, ලලිත කලා අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය පී. අහිලන්, යාපනය විශ්වවිද්‍යාලයීය චිත්‍රපට සංගමය නියෝජනය කරමින් බ්‍රින්තා කුලසිංගම්, උළෙලේ උපදේශක කමිටු සාමාජික අයිංකරන් කුගතාසන්, රීගල් සිනමාහල් කළමනාකරු රඝුරාජ්, චිත්‍රපට අධ්‍යක්ෂ මදිසුදා සහභාගී වූහ.
උළෙල ආරම්භ කළේ දිවයිනේ උතුර සහ දකුණ නියෝජනය කළ සංගීතවේදීන් දෙදෙනකුගේ වාද්‍ය ප්‍රසංගයකිනි. යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන එන්. කේදරනාත් (කේදර්) සහ හේෂාන් කුරුප්පුගේ එම සංගීතයෙන් සංස්කෘතීන් අතර අවබෝධය, සහජීවනය සහ එකමුතුකම යන උළෙලේ මූලික අරමුණු වඩාත් ගැඹුරින් ජීවමාන විය.
ආරම්භක තිරගත කිරීම වූයේ සම්මානලාභී ඉන්දියානු අධ්‍යක්ෂකවරයකු වන ප්‍රදීප් කුරුබාගේ ‘The Elysian Field’ චිත්‍රපටයයි. විනාඩි 123 ක් පුරා දිවෙන, ඛාසි භාෂාවෙන් නිර්මිත එය බොහෝ සම්මාන හා ඇගැයුම්වලට පාත්‍ර වූ චිත්‍රපටයකි. 47 වැනි මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක සහ NETPAC සම්මානය, 31 වැනි කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂ, රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග්හි Lendoc චිත්‍රපට උළෙලේ Grand Prix (හොඳම චිත්‍රපටය), ලන්ඩනයේ SO Independent චිත්‍රපට උළෙලේ හොඳම සංස්කරණය යන සම්මාන සහ ඇගැයුම් ඒ අතර වෙයි.
‘The Elysian Field’ 2047 වර්ෂයේ මේඝාලයේ කාසි කඳුකරය පසුබිම් කොටගෙන නිර්මාණය කළ සිනමාපටයකි. බොහෝ පදිංචිකරුවන් වඩා හොඳ අවස්ථා සොයමින් නගරවලට සංක්‍රමණය වූ පසු, ඔවුන්ගේ කලක් සමෘද්ධිමත් වූ ප්‍රජාවේ ඉතිරිව සිටින්නේ ගම්වැසියන් කිහිප දෙනෙකු පමණි. ගම සෙමෙන් හිස් වන විට සහ නවීන පහසුකම් හිඟ වන විට, වැන්දඹු ලිවිංස්ටන් විසින් මෙහෙයවනු ලබන ඉතිරි වැසියන් තනිකම, අහිමි වීම සහ වෙනස් වීම සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ ගැඹුරු බැඳීම් ගොඩනඟා ගනී. ඔහුගේ අභාවප්‍රාප්ත බිරිඳ බෙලින්ඩාගේ මතකය රැගෙන ලිවිංස්ටන්ගේ සංකේතාත්මක ගමන ඔහුගේ ආදරය සහ ආශාව පිළිබිඹු කරයි. සෑම චරිතයක්ම පෞද්ගලික බලාපොරොත්තු, ශෝකය සහ මැකී යන ගමේ ජීවිතයේ යථාර්ථය සමඟ පොරබදයි. ඔවුන්ගේ එකිනෙකට බැඳී ඇති කථා හරහා, චිත්‍රපටය අවට ලෝකය පරිවර්තනය වන විට පවා ප්‍රජාව තුළ ඇති ඔරොත්තු දීමේ හැකියාව, මානව සම්බන්ධතාවය සහ නිහඬ ශක්තිය පිළිබිඹු කරයි.

දෙසැම්බර් මස 30 වන දා පෙරවරු 10.00ට තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී රිට්වික් ගටක්ගේ සිනමාව සහ ජීවිතය පිළිබඳ වැඩමුළුවක් මහාචාර්ය අංකුරන් දත්තා ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී
ප.ව. 1.00ට තිරගත වූයේ රිට්වික් ගටක්ගේ සුබර්ණරේඛා Subarnarekha (Ritwik Ghatak) චිත්‍රපටයයි. 1947 ඉන්දියාව බෙදීමෙන් පසු නැගෙනහිර පකිස්ථානයේ සිට පැමිණි හින්දු සරණාගතයෙකු වන ඊශ්වර් චක්‍රබෝර්තිගේ කතාව මෙම චිත්‍රපටයෙන් කියැවේ. ඔහු තම කුඩා සහෝදරිය වන සීතා සමඟ බටහිර බෙංගාලයට ගොස් නව ජීවිතයක් ආරම්භ කිරීමට උත්සාහ කරයි. සරණාගත කඳවුරකදී, පහත් කුලයට අයත් කාන්තාවක් පැහැරගෙන යාම ඔවුන් දකින අතර, ඊශ්වර් ඇගේ කුඩා පුත් අභිරාම් ඔහු සමඟ රැගෙන යයි. ඔහුට සුබර්ණරේඛා ගඟ අසල පළාතේ කර්මාන්ත ශාලාවක රැකියාවක් ලැබෙන්නේ ඔහුගේ විද්‍යාල මිතුරෙකු වන රම්බිලාස්ගේ අනුග්‍රහයෙනි. ඊශ්වර්, සීතා සහ අභිරාම් ඝට්ෂිලා අසල කුඩා ජනාවාසයක් වන චටිම්පූර් වෙත පැමිණෙන අතර එහිදී ඔවුන්ට වාත්තු වැඩමුළුවේ ප්‍රධානියා වන මුඛර්ජි මුණගැසෙයි. ඔහු ඔවුන්ට ආදරයෙන් ආචාර කරයි.
කලම් – සංස්කෘතික හමුවීම් සඳහා අවකාශයේදී (Kälam)
පෙ.ව. 10.00 – Deja Vu (Bedabrata Pain)
ප.ව. 1.00 – Victoria (Sivaranjini Jeyakumar)
ප.ව. 3.30 – Bokshi (Bhargav Saikia)
ප.ව. 6.15 – Riefenstahl (Andres Veiel) යන චිත්‍රපට තිරගත කෙරිණි.
මයු අජන්තන් (Mayu Ajanthan) විසින් අධ්‍යක්ෂණය කළ ‘පරවාදි’ Paravaathi (2025 | ප්‍රංශ-ශ්‍රී ලංකා) , 2025 දෙසැම්බර් 31 – ප.ව. 06.15 ට යාපනයේ කාර්ගිල්ස් චතුරශ්‍රයේ රීගල් සිනමා ශාලාවේදී තිරගත විය.
මාර්ගය දෙපස වන නිෂ්පාදන විකුණා ජීවත් වන, සමාජයෙන් ඈත් කරන ලද ප්‍රජාවක් සහ එම මාර්ගයේම රථවාහන නීති නොතකා වේගයෙන් ධාවනය කරන රියැදුරන් අතර ඇති වන ගැටුම මෙම චිත්‍රපටයට පාදක වී ඇත. එකම මාර්ගයකට බැඳුණු මෙම දෙපිරිස අතර ඇති වන ගැටලුවට, ඒ මර්දිත ප්‍රජාව එකට එක් වී සොයාගන්නා සාමකාමී විසඳුමක් වටා චිත්‍රපටය ගෙතෙයි.
2026 ජනවාරි 01 – තිරගත වූ සිනමාපට: කලම් – සංස්කෘතික හමුවීම් සඳහා අවකාශයේදී
පෙ.ව. 10.00 – The Music Shop: Symphony of The City (Bijoy Chowdhury)
ප.ව. 1.00 – Biye Niye Fiye (Neel Dutt)
ප.ව. 3.30 – Yakasi’s Daughter (Jayanta Madhab Dutta)
ප.ව. 6.15 – Indus Echoes (Rahul Aijaz)
රීගල් සිනමාශාලා – කාර්ගිල්ස් චතුරස්‍රය
ප.ව. 6.15 – 32 (Visakesa Chandrasekaram)
Agenda 14 ආයතනය ඉදිරිපත් කරන මෙම උළෙලට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ සිලෝන් තියටර්ස් සහ යාපනය විශ්වවිද්‍යාලයයි. Jaffna ICF 2025 හි අනෙකුත් හවුල්කරුවන් වන්නේ ජර්මන් සංස්කෘතික ආයතනය (Goethe-Institut), ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය – ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය (Swami Vivekananda Cultural Centre – High Commission of India), බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council), චිත්‍රපට සංගමය – යාපනය විශ්වවිද්‍යාලය (Film Society- University of Jaffna), Kälam – A Space for Cultural Encounters, සහ Federation of Film Societies – Asia Pacific Section යන ආයතනයි.

ස්වාධීන සිනමාව සැමරීමේ අපක්ෂපාතී වේදිකාවක් වන මෙම උළෙල, වෙනත් සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇති කරමින් සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කරයි. තරුණ චිත්‍රපට නිර්මාණකරුවන්ගේ ප්‍රථම චිත්‍රපට සහ කෙටි චිත්‍රපට තිරගත කිරීමෙන් ඔවුන්ට දිරිගැන්වීමක් ලබා දෙයි.
