පසුගිය වසරේ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදු කළ බහාලු ප්‍රමාණයේ වාර්තාගත වර්ධනයක්

2025 වර්ෂය තුළ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදු කළ බහාලු ප්‍රමාණය වරාය ඉතිහාසයේ වැඩිම බහාලු සංඛ්‍යාව ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

එම ප්‍රමාණය බහාලු අසු දෙලක්ෂ අනූදාහක් ( 8290000) වේ.

2024 වසරේ කොළඹ වරායේ මෙහෙයුම් සිදු කළ බහාලු ප්‍රමාණය හැත්තෑහත් ලක්ෂයක් ( 7700000) වන අතර 2025 වසරේදී එම ප්‍රමාණය (6%) ක වර්ධනයක් පෙන්නුම් කරයි.

මෙම වාර්තාගත මෙහෙයුම සඳහා වරාය අධිකාරිය සතු ජයබහලු පර්යන්තය (JCT), නැගෙනහිර බහාලු පර්යන්තය (ECT) , චීනයේ සමාගමක් වන SAGT පර්යන්තය සහ ඉන්දීය අදානි සමාගමට අයත් CICT පර්යන්තය එක් ව තිබේ.

තවද කොළඹ වරාය කේන්ද්‍රීය වරායක් ලෙස 2026 වසරේ දී ප්‍රති නැව් ගත කිරීම් හා ලොජිස්ටික් පහසුකම් වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර තිබේ.

එමෙන්ම 2026 වසරේදී වරාය අධිකාරිය සතු නැගෙනහිර බහාලු ( ECT) පර්යන්තය සහ බටහිර පර්යන්තයේ (WCT) ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීමත් සමඟ මෙම වසරේ විශාල බහාලු ප්‍රමාණයක් මෙහෙයවීමට කොළඹ වරායට හැකි වෙයි.

මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම නාවික සමාගම් රැසක් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු පිළිබඳ සිය ප්‍රසාදය පළ කර ඇති අතර , එම නැව් සමාගම් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට ඉදිරියේදී එක් වීමට නියමිත වේ.

END/GONP/MMP/02012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *