මහජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය සඳහා දායක වූ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීමට ලක්වේ

මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය – 2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 29 දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සෑම බදාදා දිනකම ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් සංවිධානය කරන මාධ්‍ය හමුවලට අදාළව විද්වත් සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරණයට කටයුතු කළ විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් මෙහිදී ඇගයීමට ලක් කරමින් සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදි.

සතිපතා පවත්වන ලද මාධ්‍ය හමු සඳහා ඉහළම සහභාගීත්වය දක්වන ලද හිරු රූපවාහිනි ආයතනයේ ඊ.පී චින්තක ශ්‍යාමාල්, ලේක්හවුස් ආයතනයේ ජයන්ති කුරේ, PFP News වෙබ් පුවත් ආයතනයේ සීතා සෙනෙවිරත්න සහ සමිත් කොඩිතුවක්කු, විජය පුවත්පත් ආයතනයේ බන්දුල පී දයාරත්න, දිනමිණ පුවත්පත් කේ. ඉරෝෂා දීපානි, Mamankari පුවත් වෙබ් ආයතනයේ අතුකොරළගේ නීල් යන මාධ්‍යවේදී වේදිනියන් මෙහිදී ඇගයීමට ලක්විය.

එමෙන්ම මාධ්‍ය පෞරෂත්වය (භාෂා, සමාජ මාධ්‍ය, ගුවන්විදුලි, සිංහල සහ දෙමළ ලේඛණ) අංශයෙන් හිරු රූපවාහිනී ආයතනය වෙනුවෙන් හිරු පුවත් වැඩසටහනේ ඊ.පී චින්තක ශ්‍යාමාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සාමාජ මාධ්‍ය අංශයේ එම්.ආර්.අයි. මධුරකාවිනී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශාන්ත කුමාර, මව්බිම පුවත්පතේ චම්පිකා දීපානී රණසිංහ, විජය පුවත්පත් ආයතනයේ බන්දුල පී. දයාරත්න, Veerakesari Express පුවත්පතේ සෙල්වරාඡ් සුබදර්ශනී යන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් ද මෙහිදී ඇගයීමට ලක් විය.

උත්සව සභාව අමතින් වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉතිහාසයේ පළමු වතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයත් එක් අමාත්‍යවරයෙකු යටතේ පවතින කාලයක මෙවැනි මාධ්‍යවේදීන් ඇගයීමට ලක්වීමක් සිදුවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ගෙනයන වැඩපිළිවලේ දී වැදගත් අංශයක් ලෙස සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පෙන්වා දිය හැකි බව මෙහිදී පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වෙනත් ආයතනවල සේවය කළත් සියලු දෙනාගේ ප්‍රධානතම අරමුණ මෙරට ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහි ප්‍රමුඛ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට පැවරුණ ද අනෙක් ආයතනවලට ද  යම් වගකීමක් පැවරෙන බව සිහිපත් කළේය.

මෙරට සිදුවන මරණ වලින් වැඩි ප්‍රමාණයකට බෝනොවන රෝග හේතු වන බවත්, මුල් මට්ටමේ දී බෝනොවන රෝග වළක්වා ගත හැකි නම් මරණ ප්‍රමාණය සීග්‍ර ලෙස අඩු කරගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

පිළිකා රෝගීන් සහ හෘද රෝගීන් ඇතුළු බොහෝ රෝගීන් රෝහල්ගතවන විට රෝග ව්‍යාකූල හා සංකීර්ණ තත්ත්වයට පැමිණ තිබෙන බවත්, සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදලින් වැඩි ප්‍රමාණයක් නවීන අධිතාක්ෂණික උපකරණ  මිලදී ගැනීමට, නඩත්තුවට මෙන්ම  කාර්ය මණ්ඩල පුහුණු කිරීමට යෙදවීමට සිදුව ඇති බව ද පැවැසිය.

ඒ අනුව ඉදිරි වසර 03 ඇතුළත රුපියල් මිලියන 12,000 ක වියදමකින් ශ්‍රී ලංකා ජාතික රෝහල ආශ්‍රිතව මහල් 16 කින් යුත් ලංකාවේ විශාලතම ජාතික හෘද රෝහල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, රෝග වැළැක්වීම, රෝග නිවාරණ අංශයට අවධානය යොමු කර රෝගීන් කළීන් හදුනා ගැනීම සහ මුල් අවස්ථාවේදීම සංකීර්ණ නොවූ ප්‍රතිකාර මගින් බොහෝ රෝගීන්ගේ ජිවිත ආරක්ෂා කර ගත හැකි බව ද පිරිවැය අවම කර ගත හැකි බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එම වැඩපිළිවෙළේ දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සන්නිවේදන වැඩපිළිවෙල ඉතා වැදගත් වන බව ද  අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

සන්නිවේදනය සියලු දෙනාට සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා කුසලතාවයක් තිබිය යුතු බවත්, මාධ්‍යවේදීන් එවැනි කණ්ඩායමක් වන බැවින් වැඩි වැඩියෙන් සන්නිවේදන කටයුතු වේගවත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු සිදු කළ යුතු බවද අමාත්‍යවරයා පැවැසිය.

බෝනොවන රෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නව වසරේ බෝනොවන රෝග සම්බන්ධයෙන් තවත් අමාත්‍යාංශ කිහිපයක් ද සම්බන්ධ කර ගනිමින් විශේෂ කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය. එසේම ජනතාවට සෞඛ්‍ය පණිවුඩ රැගෙනයාමේ දී සෞඛ්‍ය ප්‍රවර්ධකයා, මාධ්‍යවේදියා, මාධ්‍ය ආයතන කාර්යභාරය, ග්‍රාහකයා දැනුවත් කිරීම යන කරුණු මනා සම්බන්ධතාවයන් සිදු විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

ජනමාධ්‍ය යනු Views හෝ Rating නොවන බව ද එය අත්හළ නොහැකි වගකීමක් බව ද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව භීතියට පත් කරනු ලබන සහ විකෘති සහගත තොරතුරු ප්‍රචාරය කළහොත් විකාශණ බලපත්‍ර ලබාදීමේ දී පනවා ඇති කොන්දේසි බලාත්මක කිරීමට සිදුවන බව ද  අවධාරණය කරන ලදි.

මෙහිදී වෛද්‍ය අසන්ති ප්‍රනාන්දු බලපිටිය මහත්මිය සෞඛ්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමෙහිලා මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබඳව විශේෂ දේශණයක් ද පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාර වික්‍රමසිංහ සහ කැළුම් වි‌ඡේනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සමාජ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් ද එක්ව සිටියහ.

END/GONP/MMP/29122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *