සෞඛ්‍ය වෘත්තිකයන් අතර පවතින කණ්ඩායම් හැගීම හේතුවෙන් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට හැකිවෙනවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශිෂ්ට හා කාර්යක්ෂම මෙන්ම ඉහළ ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාම සදහා සියලු සෞඛ්‍ය වෘත්තිකයන් අතර පවතින මනා කණ්ඩායම් හැගීම  ප්‍රධාන වශයෙන්ම බලපාන බවත්, ඒ සදහා ඔවුන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය යහපත් රාජකාරී පරිසරයකට බෙහෙවින් ඉවහල්වන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේබව අවධාරණය කර සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of Medical Specialists – AMS) නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර දීය. එම සාකච්ජාව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

විධිමත් සේවාවක් මෙරට පවත්වාගෙන යාම සදහා එහි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සහ විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට සිය සේවාව ඉටුකිරීමේ දී බලපාන ප්‍රායෝගික කරුණු කිහිපයකට කඩිනම් විසදුම් ලබාගැනීමේ අරමුණින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කළ ඉල්ලීමකට අනූව මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි. ‍

මෙහි දී මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම, සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමේ දී අදියරෙන් අදියර ප්‍රමුඛත්වය ලබා දිය යුතු අංශ, පැරණි සමහර චක්‍රලේඛයන්හි සංශෝධනයන් සිදු කිරීම, ස්ථාන මාරුවීම්, සෞඛ්‍ය සේවාවේ මෙතෙක් පැවති විශිෂ්ට ප්‍රමිතීන් තවත් වැඩිදියුණු කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාම,  ආදී කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු විය.

මෙම සාකච්ඡාවේ දී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of Medical Specialists – AMS) නියෝජිතයින් ඉදිරිපත්කළ සමහර කරණු පිළිබදව දීර්ඝව කරුණු විමසමින්, අමාත්‍යාංශයේ නිලධාරින් සමග ද සාකච්ජා කරමින් කෙටිකාලීනව විසඳුම් ලබාදිය හැකි ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබාදීමට අවධානය යොමු කළ අතර, තවත් ගැටළු කිහිපයකට විසඳුම් ලබාදීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ  නියෝජිත විශේෂඥ වෛද්‍යවරුන්  දැනුවත් කිරීමට ද පියවර ගන්නා ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රසික ගුණපාල, ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥානසේකරම්, භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය දිලීපා අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළුව එම සංගමයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

END/GONP/MMP/27122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *