තිරසර සංවර්ධන වැඩිහිටි අධ්‍යාපන ඉලක්ක ජයගැනීම යථාර්ථයක් බවට පත්කරගත නොහැකිද ? චාන්දනී දිසානායක 

      “මම විදුලි කාර්මික ශිල්පය ඉගෙන ගත්තේ මගේ උත්සාහයෙන්මයි.එහෙම  වැඩ කරගෙන යන අතරතුර පුත්තලම කුසලතා පාසලේ වෘත්තීය අංශයේ බාහිර උපදේශකයෙකු ලෙස වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. මම වැඩිදුර අධ්‍යාපනය ලබපු කෙනෙක් නෙවෙයි;ඒත් මගේ හැකියාවට කුසලතා පාසලෙන් ලැබුණු වටිනාකමත් එක්ක මගේ ජීවිතය වෙනස්වුණා .

           කුසලතා  පාසලට සම්බන්ධ වෙද්දි  මට අවුරුදු 46 යි . පාසලේ  ළමයි එක්ක වැඩ කරද්දි තමයි මට හිතුණේ.  වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ නැත්තේ අපරාදෙ කියලා . මම අපොස සාමාන්‍ය පෙළ සමත් වෙලා හිටියේ. ඒ වුණාට උසස් පෙළ කළේ නැහැ . හොඳ කාර්මික ශිල්පියෙක් වුණාට කාර්මික ශිල්පයේදී ව්‍යවහාර භාෂාව පිළිබඳවවත් මං ඉගෙනගෙන තිබුණේ නැහැ. ඉතින් ඉස්කෝලේ විදුහල්පතිතුමාගේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වෘත්තීය පුහුණුවට යොමුවෙලා මම NVQ 3  විභාගය සමත් වුණා . 2029 අවුරුද්දෙ එහි හතරවෙනි අදියර  තියෙන විභාගයට මම දැනට සූදානම් වෙනවා . වෘත්තිකයෙක් විදිහට මගේ හැකියාව හඳුනාගෙන , පාසලට සම්බන්ධ කර ගැනීම තුළින් මට ප්‍රදේශය තුළ විශාල වටිනාකමක් ලැබුණා .  ඒ වගේම ,  මට බාහිර කොන්ත්‍රාත් වැඩ වැඩි වෙන්න ගත්තා . මේ නිසා මගේ ජීවිතය වෙනස්ම මානයකට යොමු  වුණා .”

               පාසල් කාලයෙන් පසුව පුත්තලම විල්පත බණ්ඩාරනායක කුසලතා පාසල පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ඒකකයේ කාර්මික උපදේශකවරයා ලෙස  කටයුතු කරන කේ.ඩී තුසිත  සිය ගමන් මගේ හැරවුම් ලක්ෂය පිළිබඳව සිහිපත් කළේ කෘතවේදී බවකින් යුතුවය.

  පුත්තලම කුසලතා පාසලේ වඩු කර්මාන්තය, මෝටර් කාර්මික ශිල්පය ,වෑදුම් ශිල්පය , සහ විදුලි කාර්මික ශිල්පය යන වෘත්තීය පුහුණු  අංශ හතරෙහිම උපදේශකයින් ලෙස කටයුතු කරනු ලබන්නේ වෘත්තීය  කුසලතාව මත එම තනතුරුවලට පත්ව සිටින, හැකියාවන්ගෙන් හා දක්ෂතාවන්ගෙන් පිරිපුන් ප්‍රදේශයේම  වෘත්තිකයන් සිව් දෙනෙකි . කුසලතා පාසැලේ විදුහල්පතිවරයාගේ මාර්ගෝපදේශ මත ඔවුන් සිව් දෙනාම මේ වනවිට සිය වෘත්තීයභාවයට තව තවත් වටිනාකම් එක්කර කරගනිමින්, උගන්වන අතරම වැඩිදුර ඉගෙනගන්නන් බවටද පත්ව සිටිති.

          රටක  සෞඛ්‍ය , අධ්‍යාපනය සහ ආදායම යන මූලික සාධක තුන පදනම් කරගනිමින්  එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වැඩසටහන යටතේ 2025 මාර්තු 06 වන දින නිකුත් කරන ලද වාර්තාවට අනුව රටවල් 193 ක් අතරන් ශ්‍රී ලංකාවට 89 වන  ස්ථානය හිමිව තිබේ.එම වාර්තාවට අනුව, ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල් පසුවන්නේ 130 වන ස්ථානයේය. දකුණු ආසියාතික කලාපයේ රටවල් අතරින් ලංකාව ඉහළ ස්ථානයකට පැමිණ ඇත්තේ අධ්‍යාපනය තුළිනි. එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ ප්‍රධාන සාධකයක් වන ‘ආර්ථිකය’

 රටේ  වෘත්තීයභාවය ද ප්‍රධාන සාධකයක් ලෙස බලපායි .

2024 වසරේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ,  ඉදිකිරීම් , විදුලිය , ජලසම්පාදන අංශවල වෘත්තිකයන්ගේ දායකත්වය 7.6% කි . කෘෂිකර්මාන්ත දායකත්වය 26% කි . මෝටර් කාර්මික ශිල්පය ඇතුළු කාර්මික වෘත්තීන්ගේ දායකත්වය 14.8 % කි . නිමැවුම් කර්මාන්ත වෘත්තිකයන්ගේ දායකත්වය 17.2% කි . ඒ ආකාරයට රටක සමස්ත ආර්ථිකයට දායක වන  වෘත්තිකයන් අතරින් සැලකියයුතු  සංඛ්‍යාවක් එම වෘත්තීන්හි නියැලී සිටින්නේ , විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් සහිතවම  නොවේ .ඔවුන් අතර බොහෝ දෙනෙකු ‘කළ පුරුද්දට’,’අත හුරුවට’ වෘත්තිකයින් බවට පත්වූවෝය’.එහෙත්,වෘත්තිය සම්බන්ධ අතිරේක දැනුම හා වටිනාකම් එකතුකර ගැනීම මගින් සැබෑ වෘත්තිකයින් බවට පත්වීමේ ශක්‍යතා ඇත්තෝය.

තිරසර සංවර්ධන අරමුණුවල අධ්‍යාපන ඉලක්ක අතර නොවිධිමත් අධ්‍යාපනය සහ වැඩිහිටි අධ්‍යාපනයට විශේෂ තැනක් හිමිවන නමුත් තවමත් ශ්‍රී ලංකාව මේ විෂයයෙහි සිටින්නේ දුප්පත් තත්ත්වයකය;නැතහොත් ප්‍රමාණවත් තරම් වැඩිහිටි අධ්‍යාපනය ගැන අවධානයක් යොමුකර නොමැති තත්ත්වයකය.එහෙත්, ඒ් සීමිත අවකාශය තුළද වෘත්තිකයින් සහ වැඩිහිටියන් වෙනුවෙන් වෙන්ව ඇති අවස්ථා රැසකි.

 වෘත්තීය ගුණාත්මක භාවය   වර්ධනයට කරලීමට  ඇති   අධ්‍යාපන අවස්ථා මොනවාද   ?

පේෂකර්ම දෙපාර්තමේන්තුවේ  පළාත් අධ්‍යක්ෂ   නිරන්ජලා  කරුණාරත්න.

     ” වාර්ෂිකව අත් යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදනය පිළිබඳව 200 ක් පමණ  අපේ ආයතන  මගින් පුහුණුව ලබනවා.මාස 6 ක පුහුණුව ලබන අයට NVQ 3 සහතිකය ලබා දෙනවා.ඒ වගේම මේ පුහුණුවීම් වලට වයස අවුරුදු 18 ත් හැටත් අතර ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් .

පුහුණුව සාර්ථකව අවසන් කරන අයට සියයට පනහක් රජයේ ප්‍රතිලාභ මත උපකරණ සහ අමුද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාවක් උදා කරලා තියෙනවා .ඒ අයට වෙළඳපළ හදා ගැනීමට අපි සහයෝගය ලබා දෙනවා . උසස් අධ්‍යාපනය ලබල තියෙන අය පුහුණු උපදේශකවරුන් ලෙස අපි බඳවා ගන්නවා . ඇත්තම කියනවනම් ,  වැඩිහිටියන් ලෙස ඕනෑම කෙනෙක් මේ වගේ වෘත්තියකට යොමු වෙනවනම් ,  ව්‍යාපාරයක් හෝ වෘත්තීයක් විදිහට නෙවෙයි , කායික මානසික සුවතාවයටත් හොඳ අවස්ථාවක්  විදිහටයි මම දකින්නේ .මේක සාර්ථකව තනියම හරි කරන අය මාසයකට අඩුම තරමේ රුපියල් ලක්ෂයක්වත් උපයාගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා .

          විශේෂයෙන්ම කොවිඩ් කාලයේදී ගොඩක් අයට එහෙට මෙහෙට යන්න හැකියාවක් ලැබුණේ නැහැ . නමුත් ගෘහස්ථ කර්මාන්තයක් ලෙස පේෂකර්ම වෘත්තියේ නියැලුණු අය , තමාට ලැබුණු මැෂින් වලින් නිවසේ සිට රෙදි නිෂ්පාදනය කළා .  වර්තමානයේ වුණත් , ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින බොහෝ දෙනකුට ස්වාධීනව නැගී සිටින්න මේ වගේ වෘත්තීන් ගොඩක් ඉවහල් වෙනවා .

වයඹ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂ උදය ඉන්දික නියදළුපොල.

      අපේ රට ගොඩ ගන්න පුළුවන් . ඒ  සඳහා වැඩිහිටි අධ්‍යාපනය  හොඳ අවස්ථාවක් .එහිදී විශේෂයෙන්ම  වෘත්තීය පුහුණු  නව තාක්ෂණික උපකරණ සමග ප්‍රායෝගික පුහුණුව ලබා දිය යුතුයි .  අලුත් ලෝකයට නව නිෂ්පාදන, අලුත් යන්ත්‍රානුස්සාරයෙන් විවිධ නිෂ්පාදන බිහිකරන වෘත්තිකයන් පිරිසක් රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට යොමු කළ හැකිනම් , මේ රට ඉතා ඉක්මනින් ගොඩනගන්න පුළුවන් .ඒ සඳහා ජාතික වෘත්තීය පුහුණු ප්‍රවාහය (NVQ) තත්ත්වයට වෘත්තිකයන් ගෙන යාම තමයි වෘත්තීය පුහුණු ආයතන වලින් සිදු කරන්නේ . මෙහිදී විශේෂයෙන්ම රජයේ වෘත්තිය පුහුණු ආයතන වලට වඩා පෞද්ගලික අංශවලට  දහස් ගණනින පාඨමාලාලාභීන්  එකතු වෙනවා .

            ඇත්තටම ඒකට හේතුව , අපේ උපදේශකවරු  හැමෝටම උපාධිය නැතත් , වෘත්තීය පුහුණුව පිළිබඳව ප්‍රායෝගිකව වැඩ කරන අය අපි යොදාගන්නවා . ඒ වගේම අපෙන් වෘත්තීය පුහුණු ලබාගෙන සාර්ථකත්වය ළඟා කර ගත් අය පිළිබඳව ප්‍රචාරණය කරනවා . අනිත් කාරණාව තමයි නව තාක්ෂණය උපයෝගී කරගෙන පාඨමාලාව හදාරන අතරතුර , නව නිර්මාණ බිහිකරන අයට ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා .

            පහුගිය ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ඉලෙක්ට්‍රොනික් උපකරණ ,  යාන්ත්‍රික උපකරණ,  වාහන යනාදිය හානියට ලක්වුණා . ඉතින් අපේ ආයතනයෙන් කාර්මික පුහුණුව ලද වෘත්තිකයින් මේ යන්ත්‍ර සූත්‍ර යථා තත්ත්වයට ගෙන ඒමට විශාල දායකත්වයක් ලබාදෙනවා. මම හිතන්නේ , ඒක රටක සංවර්ධනයට හොඳ අස්වැසිල්ලක්.”

 ග්‍රීන්වේ විදේශ රැකියා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ

සාන්ත ජයසුන්දර.

අපේ ආයතන වලට එන්නේ එක්කෝ පාසල් නොගිය අය . එහෙම නැත්නම් වෘත්තීය අධ්‍යාපනය නොලබපු අය . ඒ හැම කෙනෙක්ම , වෘත්තීය අධ්‍යාපනය ලබාදීම තුළින් නිපුණතා පදනම් කරගත් වෘත්තියකට යොමු කිරීම අපේ වගකීමක් ලෙසයි අපි සලකන්නේ .

               අද තරුණ පරම්පරාව මෙන්ම වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් අපි ළඟට එන්නේ විදෙස්ගත රැකියාවල නියැලලෙන්න.ඒ අයට ඔවුන්ගේ කැමැත්ත පරිදි වෘත්තීය පුහුණුව ලබා දෙන්නත් , භාෂාව පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලබාදීමටත් පමණක් නෙවෙයි;ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනය , ඒ ඒ රටවල සංස්කෘතියට ගැලපෙන ආකාරයට ජීවත් වෙන හැටි පවා ඉගැන්වීමට අපි කටයුතු කරනවා .  අපේ ආයතනය රජයේ වෘත්තීය පුහුණු පිළිබඳ සහතික නිකුත් කළ හැකි සුදුසුකම් ලද  , විදේශ රැකියා නියෝජිත ආයතනයක් විදිහටත් ලියාපදිංචි ආයතනයක් . අපේ ආයතන වගේම පෞද්ගලික හෝ රජයේ ඕනෑම වෘත්තීය පුහුණු ආයතනයකින් විධිමත් පුහුණුවක් ලබා වෘත්තීන් වලට යොමුවීම  වැදගත්.ඒක ඇත්තටම තිරසර ආර්ථික සංවර්ධන ඉලක්ක කරා යන ගමනට ලොකු දායකත්වයක් සපයන අවස්ථාවක් .”

    වැඩිහිටි අධ්‍යාපනය ලබාගෙන තිරසර ආර්ථිකයට උරදෙන වෘත්තිකයන්

රිදීගම ප්‍රදේශයේ අත් යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදනයේ ව්‍යාපාරයක් කරගෙන යන  එච් . ඩි . චන්ද්‍රාවතී .

     ”  පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින්  පුහුණුව ලබලා මේ කර්මාන්තය ආරම්භ කළේ.    ඒ වෙද්දි මට දරුවො දෙන්නෙකුත් එක්ක මහත්තයාගේ ආදායමෙන් පවුලේ ආර්ථිකය ඉහළට ගෙනයාමේ හැකියාවක් තිබුණේ නෑ . ඇඟලුම් කර්මාන්තශාලාවක වැඩ කරලා නිකන් ගෙදර ඉන්න බැරි නිසයි මම මේ පුහුණුව ලබලා මගේ වැඩපළ පටන්ගත්තේ. අද මගේ යටතේ අට දෙනෙක් වැඩ කරනවා . මම රජයෙන් පුහුණුව ලැබුව විතරක් නෙවෙයි; මට මුලින්ම එක මැෂින් එකක් රජයෙන් ලබා දුන්නා .ඊට පස්සේ මගේ වැඩපිළිවෙළ දැකලා නැවත මට රජයෙන් නොමිලේ මැෂින් පහක් ලබා දුන්නා . මම ඒවගෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන තවත් පවුල් ගණනක් ජීවත් කරවන්න හැකියාවක් ලබාගෙන තියෙනවා .  අද කොච්චර කාන්තාවෝ ඉන්නවද නිවෙස්වල නිකන් ඉන්න. මේ වගේ පුහුණුවක් විධිමත්ව ලබා ගත්තොත් , රජයෙන් උපකරණ විතරක් නෙවෙයි , ව්‍යාපාර ආරම්භ කරන්න ණය මුදලක් පවා දෙනවා . දැන් මට වයස අවුරුදු හැටයි. මම වගේම, මගේ වයසේ පසුවන  වැඩිහිටි සේවිකාවන් 8 දෙනෙකු එක්කයි මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ.”

  වජිරා දිල්හානි වයස අවුරුදු හතළිස් එකේදී පොල් සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව විධිමත් පුහුණුවකට යොමු වූ  කාන්තාවක් .

” මම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුත් සමග දරුවන් දෙදෙනෙකුගේ මවක් . මගේ මහත්තයාට ස්ථිර රැකියාවක් තිබුණේ නෑ . විශේෂ අවශ්‍යතා සහිත දරුවා නිසාම මට පොල් සංවර්ධන මණ්ඩලයේ වෘත්තීය පුහුණුවකට යොමුවීමේ අවස්ථාවක් ලැබුණා . ඒ අනුව මම පොල් කටු ආශ්‍රිතව පොල්තෙල් පහන ,  විදුලි ලාම්පුව , සහ පොල් කටු ආභරණ නිර්මාණ කරන්න පෙළඹුණා . මම ගිය අවුරුද්දේ පළාතේ හොඳම ව්‍යවසායිකා සම්මානයත් ලබා ගත්තා . දැන් අපේ පවුලේ ප්‍රධාන ආර්ථිකය වෙලා තියෙන්නේ පොල් කටු ඇසුරින් කරන නිෂ්පාදන . මගේ මහත්තයා විතරක් නෙවෙයි; මගේ විශේෂ අවශ්‍යතා සහිත පුතත් මේ නිෂ්පාදන කටයුතුවලට දායක වෙනවා . වෘත්තියක් ඉගෙන ගන්න වයසක් අදාළ නැහැ.අද අපේ ජීවන ගමන් මග වෙනස් වෙන්න හේතු වුණේ , විධිමත්ව වෘත්තීය පුහුණුවක් ලැබූ නිසයි .

          මේ වෙලාව අපේ රට ගොඩක් කඩන් වැටිලා තියෙන්නේ පසුගිය ආපදා තත්ත්වයත් එක්ක . නමුත් අපිට ඉක්මනින් ගොඩනැගෙන්න මේ වගේ වෘත්තියකින් ඉතාම පහසුයි . මොකද පොල් ආශ්‍රිත නිෂ්පාදන ගොඩක් සිද්ද වෙන්නේ , ඉවත ලන දේවල් වලින් . මේ වෙලාවේ ඉවතලන ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයනය කරන්න පුළුවන් . මම  පොල් කටු ඇසුරින් කරන  නිෂ්පාදන අපනයනය කරන්නත් දැන් යොමු වෙලා ඉන්නේ “

        2026 වසරේ අය වැය වාර්තාව පෙන්වා දෙන පරිදි මෙරට සිටින  නුපුහුණු  ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 කි.ඊට වාර්ෂිකව එකතුවන වැඩිහිටියන්ද  ඉලක්ක කරගෙන කාර්මික අධ්‍යාපන පුහුණු දෙපාර්තමේන්තුව , වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය,ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය , හරිත විශ්ව විද්‍යාලය,වෘත්තීය  තාක්ෂණ විද්‍යාලය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය , ජාතික යොවුන් සේනාංකය , ජාතික තරුණ සේවා සභාව, විශ්ව විද්‍යාල, ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු අධිකාරිය, සාගර විද්‍යාලය වැනි ආයතන සඳහා රජයේ ඉදිරි  වාර්ෂික මැදිහත්වීම  රුපියල් බිලියන 20.2 කි .

වෘත්තීය අධ්‍යාපනය සඳහා වෙන් කරන  මුදලින්  වැඩිහිටි  අධ්‍යාපනයට දායක කර ගැනීම

විල්පත බණ්ඩාරනායක කුසලතා පාසලේ විදුහල්පති මංජුල සමරජීව

           මේ කාලය පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුවරුන් සහ විදුහල්පතිවරු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුහුණුවීම් ලබන කාලයක් . නමුත් මේ වන විටත් මගේ පාසලේ වෘත්තීය පුහුණුව අවුරුදු පහක පමණ කාලයක සිට කරගෙන එනවා . රජය පාසල් තුළ වෘත්තීය පුහුණු ඒකක ආරම්භ කරන්න උත්සාහ කරන්නේ ,  ප්‍රාරම්භක තාක්ෂණික කුසලතා විෂය උගන්වන ගුරුවරු මූලික කරගෙන ඔවුන්ට පුහුණුව ලබා දීමයි . අපි පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ උනහම දකිනවා මේ විෂය බොහෝ දුරට කාන්තා ගුරුවරියන් තමයි කරන්නේ . දැනුයි   ඒ  අයට කියතෙන් ලී කපන හැටි උගන්වන්නෙ . එවැනි තත්ත්වයක් තිබියදී , පාසල් තුළ  මෙය කොතෙක් සාර්ථක වේද කියන ගැටලුවක් තියෙනවා . ඒ නිසා මම ප්‍රදේශයේ අවට ඒ ඒ වෘත්තීන්වලට දක්ෂතම ශිල්පින් පාසලේ වෘත්තීයේ ඒකකයට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ   වෘත්තීයභාවයට වටිනාකමක් ලබාදීමට වෘත්තීය පුහුණු සහතික ලබා ගැනීමේ අවස්ථාව සම්බන්ධ කරලා තියෙනවා .

          ඒ අතරතුර මගේ පාසලේ දරුවෝ හය වසරෙන් ඉහළ තමාට කැමති ආකාරයට වෘත්තීය පුහුණුව ලබනවා .  අනිත් ගුරුවරු කියත හසුරුවන්න ඉගෙන ගනිද්දී , මගේ පාසලේ දරුවෝ ලී බංකු හදලා  මේ වෙද්දී වෙළඳපළටත් නිකුත් කරනවා . මේ නිසා කුසලතාව පදනම් කරගත් වැඩිහිටියන්ට වෘත්තීය භාවය ලබාදීම තමයි වැදගත් . විශේෂයෙන්ම රජයේ වාර්ෂිකව වෘත්තීය අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් , ග්‍රාමීය වශයෙන්  වෘත්තීන්වල නියැලී සිටින අයගේ වෘත්තිය භාවය ඉහළ නැන්වීමට යොමු කරන්නේ නම් , ඔවුන් වෘත්තිකයන් ලෙස රාජ්‍ය සේවයට වුවත් බඳවා ගැනීමට හැකියාවක් තියෙනවා .

            ගංවතුරට  හසු වූ විශාල ප්‍රමාණයක රෙදි පිරිසිදු කරලා අපි බතික් නිර්මාණය කළා.වැටුණු තැනින් තමයි මිනිස්සු ගොඩ එන්න ඕනේ . අපේ දරුවෝ ඒ වෘත්තිය පුහුණුව ලැබුවේ , බතික් පුහුණුව ලබපු කෙනෙක්ගෙ මාර්ගයෙන් . ඒකට පොතපතේ දැනුම අවශ්‍ය නැහැ.අවශ්‍ය වෘත්තීය පුහුණුවයි.”

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සහකාර අධ්‍යක්ෂ  අශෝක වැලිඅංග.

      “වාර්ෂිකව 30000 ක  පමණ පිරිසකට වෘත්තීය පුහුණුව ලැබීමට  පහසුකම් තිබියදී ඔවුන් ඒ පහසුකම ලබා ගැනීමට පෙළඹීමේ අඩුවක් දකින්න ලැබෙනවා.

      2023 ගෙවුණු වර්ෂයේදී ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු ලබාගෙන ඇත්තේ 5000 ක  පමණ පිරිසක් පමණයි.

 NVQ ලෙවල් 3 , 4 , 5 ,  6 දක්වා යා හැකි වෘත්තීය පුහුණු ගණනාවකට පහසුකම්  තරුණ සේවා සභාවෙ  තිබියදී වැඩි තරුණ පිරිසක් පෞද්ගලික ආයතන වලට යොමු වන ආකාරයක් දක්නට තිබෙනවා.

  ජාතික තරුණ සේවා සභාව මෙන්ම තවත් රාජ්‍ය ආයතන ගණනාවක දී නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු ලබා ගැනීමේ  හැකියාව තියෙනවා. ඒ වගේම  රාජ්‍ය ආයතන වලින්  වෘත්තීය පුහුණුව ලබන අයට ලැබෙන වරප්‍රසාද වැඩියි.”

 ජාතික අධ්‍යාපනය කොමිෂන් සභාවේ අධ්‍යාපනය පිළිබඳ කමිටුවේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ.

       ” මේ කුමන වෘත්තීය  පුහුණු ආයතන තිබුණත්, කුමන මුදලක් රජය විසින් දැරුවත්, වර්තමානය වන විට  ශ්‍රම  බලකායෙහි වෘත්තීය පුහුණුව ලද පිරිස ඉතාමත්  අඩුයි. මෙරට වෘත්තිකයන්ගෙන්   සියයට අසූවක ප්‍රමාණයක් එනම් ලක්ෂ දාසයක පමණ පිරිසක් විධිමත් පුහුණුවක් ලබාගෙන නැහැ .”

 රටක තිරසර සංවර්ධනය වෙනුවෙන්,වාර්ෂිකව රජය වෙන් කරන මුදල පමණක් නොව ,  ඒ මුදලට සරිලන   ඉලක්කගත  සේවාවන් වලට ද යොමු විය යුතුය .

මක්නිසාද යත් ,  ලංකාවේ නිපුණතා සහිත වෘත්තිකයින් බිහි කිරීමට වෘත්තීය පුහුණු ආයතනවල ආරම්භ කර ඇති  විධිමත් පුහුණු පාඨමාලා තුළින් ආර්ථික සංවර්ධන ඉලක්ක කරා ගමන් කීරීමට  හැකියාවක් ඇති බැවිනි .

රටේ ආර්ථිකයට දායකත්වය සලසන 2024 වසරේ  ස්වයං රැකියාවල  නියුතු පිරිස සියයට 33. 1 කි.  ඒ අතර පාසැලේ 6 ශ්‍රේණියත් දහය ශ්‍රේණියත් අතර  අධ්‍යාපනය ලැබූවන් 5.7 % කි . අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගෙනගත් පිරිස 7.8% කි . මේ අය රටේ ආර්ථිකයට සම්බන්ධ වන සේවා නියුක්තිකයන්  ලෙස 2024 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි .

           මේ අය වැඩි දෙනෙකු වැඩිහිටි අධ්‍යාපනය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය ලෙස සැලකේ .   ඔවුන් ට ගැලපෙන වෘත්තීය  අධ්‍යාපනය ලබාදීමේ  ක්‍රමවේදයක්  තිරසර සංවර්ධනයක් කරා යන රටකට තිබිය යුතුය . නොවිධිමත් අධ්‍යාපනය ලබන වැඩිහිටියන්  ඔවුන්ගේ  වෘත්තීය වටිනාකම් ඉහළට යොමු කරගත හැකි   රාජ්‍ය ආයතනවල , පෞද්ගලික ආයතනවල  සහ , විදේශීය  රැකියා අවස්ථාවන් උදාකර ගත හැකිය .

   වැඩිහිටි අධ්‍යාපනය  ප්‍රවර්ධනය  කිරීමට   ඉදිරිපත් කළ හැකි යෝජනා කවරේ ද ?

  අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ ජාතික සංවිධායක ශාන්ත කුලතුංග

      ආන්තීකරණයට ලක් වූ ප්‍රදේශවල ප්‍රජාවට වැඩිහිටි අධ්‍යාපනය  ලබාගැනීමට ප්‍රමාණවත් පහසුකම්  නෑ.එම ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක විය යුතුයි .

       වැඩිහිටියන් තමන්ගේ රැකියාවේ නිරතවන අතරතුර , එම වෘත්තියේ ප්‍රවීණත්වයක්  ලබා ගැනීම සඳහා වෘත්තීය අධ්‍යාපන  අවස්ථාවන් උදා කර ගැනීම ගැන අවධානය යොමු කිරීම වැදගත්.ඒ සඳහා ඔවුන්ට පෙළඹවීමක් ඇතිකළ යුතුයි.

      තම තමන්  වැඩිදියුණු කරගන්නා  කුසලතාවයන් තහවුරු කිරීම සඳහා ඔවුන්ට යම් ඇගයීමේ සහතිකයක් ලබාදීම වැනි  වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙන්නේ නම් ,   වැඩිහිටියන්  රැකියාවක  නියැලී සිටින අතරතුර , වැඩි දුර අධ්‍යාපනයට යොමු වීමට උනන්දු වෙනවා. අධ්‍යාපන සංවර්ධන සන්ධානය  විදියට නොවිධිමත් අධ්‍යාපනය හා විශේෂයෙන් වැඩිහිටි අධ්‍යාපනය නංවාලීම සඳහා අප ඉදිරිපත් කරන ලද   සිවිල් සමාජ යෝජනාවලියට මේ සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කළා. එම තොරතුරු මෙම ගැටලුවලට විසඳුම් සෙවීමට උත්සාහ දරන පාර්ශවවලට ප්‍රයෝජනයට ගතහැකියි.

  විවිධ පිරිස් සමඟ සිදුකරන ලද උපදේශනාත්මක සාකච්ඡා වලදී අනාවරණය වූ කරුණු ඇසුරින්  තමයි අප එම යෝජනාවලිය  සකස් කළේ. “

පශ්චාත් ආපදා සමයක සිටින ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන ඉලක්කයක් හඹා යන රටක් වශයෙන් , වැඩිහිටි අධ්‍යාපනය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුතු බවට විවාදයක් නැත. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට වැඩිහිටියන්ද  දායක කරගතයුතුව තිබේ . ඒ සඳහා  පාලකයිනුත්, ප්‍රතිපත්ති සම්පාදකයිනුත් අවධානයක්  යොමු කරන තරමට රටක් වශයෙන් අපට තිරසර සංවර්ධන අධ්‍යාපන ඉලක්ක ජයගැනීම සිහිනයක් නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed