නැගෙනහිර දුම්රිය මාර්ගයත් අද සිට විවෘතයි – හිරුණි ලක්ෂිකා
ජල ගැලීමේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ සිදු වූ හානි අලුත්වැඩියා කිරීමෙන් පසු කොළඹ කොටුව හා ත්‍රිකුණාමලය අතර මගි දුම්රිය ධාවන කටයුතු සුපුරුදු පරිදි අද (20) ආරම්භ වුණා.
මේ අනුව දින 22 කට පසුව කොළඹ කොටුව සිට උදෑසන හයට ත්‍රිකුණාමලය බලා පළමු දුම්රිය මෙලෙස ධාවනයට එක් කරද්දී උදෑසන හතට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා පළමු දුම්රිය ධාවනයට එක් කළ බව දුම්රිය බලධාරීහු පැවසූවා.
මෙතෙක් උදෑසන ත්‍රිකුණාමලයෙන් කොළඹ කොටුව බලා යන මගීන් ගල්ඔය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් මඩකලපුවේ සිට ගල්ඔය හරහා කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියෙන් ගමන් පහසුකම් සලසා ගත යුතුව තිබෙනවා.
මඩකලපුව දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවන් අවසන් වී නොමැති නිසා දැනට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා සෘජු දුම්රිය සේවාවන් ධාවනයට එක් කරන බව දුම්රිය බලධාරීන් පවසනවා.
ගල්ඔය සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවන් තව දින කිහිපයකින් අවසන් වන බව දුම්රිය අධිකාරී ඉංජිනේරු (නැගෙනහිර) නිසල් ලියනාරච්චි පැවසුවා.
