ගංවතුරට හසු වූ පේරාදෙණිය සරසවියේ පීඨ 2ක් 29දා ඇරඹේ – නිෂිකා හංසනී
ගංවතුරට හසු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක් මේ මස 29 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් ප්‍රකාශ කරනවා.
උපකුලපතිවරයා ප්‍රකාශ කරන්නේ පසුගියදා ඇතිවූ ගංවතුර හේතුවෙන් කෘෂිකර්ම, පශු වෛද්‍ය හා කළමනාකරණ යන පීඨ තුනම මුළුමනින්ම ජලයට යට වූ බවයි.
කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨ මේ මස 29 වැනිදා විවෘත කළ ද කළමනාකරණ පීඨය විවෘත කරන දිනයක් තවම ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඊට හේතුව කළමනාකරණ පීඨයට දැඩි හානි ගංවතුරින් සිදුවූ බවත් එහි එක් ගොඩනැගිල්ලක් මුළුමනින්ම දින කිහිපයක් ගංවතුරට හසු වී තිබීම නිසා එහි පිළිසකර කිරීම් තවම සිදුකරමින් පවතින බවද උපකුලපතිවරයා පෙන්වා දෙනවා.
එම නිසා කළමනාකරණ පීඨය ජනවාරි මාසයේ අග හෝ පෙබරවාරි මාසයේ මුලදී ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි කියා අපේක්ෂා කරන බවද උප කුලපතිවරයා සඳහන් කරනවා.
කෘෂිකර්ම පීඨයේ සිසුන් 1300 දෙනෙකු අධ්‍යයනය කරන බවත් කළමනාකරණ පීඨයේ සිසුන් 800ක් අධ්‍යයනය කරන බවත් පශු වෛද්‍ය පීඨයේ සිසුන් 600ක් අධ්‍යයනය කරන බවත් මහාචාර්ය ටෙරන්ස් මදුජිත් ප්‍රකාශ කරනවා.
මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සිසුන් සඳහා සිසු නේවාසිකාගාරද ලබාදීමට කටයුතු කරන අතර ගංවතුරට හසු වූ සිසු නේවාසිකාගාරද දැන් පිළිසකර කරමින් පවතින බවයි.
