ගර්භනී මව්වරුන්ට ලබා දෙන විශේෂ පෝෂණ දීමනාව ලබා දීම ඇරඹෙයි
කුමන අභියෝගාත්මක තත්ත්වයක් තුළ වුවද මව්වරුන් සහ දරුවන් ගේ අවශ්‍යතා සැළසීමට සහ ඔවුන්ගේ සුවපත් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කළාය.
පැවති ආපදා තත්ත්වය හේතු කොටගෙන සහ එළඹෙන උත්සවය සමය පදනම් කර ගනිමින් ගර්භනී හා කිරි දෙන මව්වරුන් සඳහා ලබා දෙන රුපියල් 5000ක් වටිනා පෝෂණ දීමනාවක් ලබා දීමේ සමාරම්භක වැඩසටහනට මේ මස 16 වන දා එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
2025 නොවැම්බර් මස 30 වන දිනට පෙර මාතෘ සායනයන් හි ලියාපදිංචි වූ මව්වරුන් සහ මාස හතරකට නොවැඩි දරුවන් සිටින කිරිදෙන මව්වරුන් එක් වරක් පමණක් ලබා දෙන මෙම දීමනාවට හිමිකම් කියනු ලබයි.
මෙම සමාරම්භක වැඩසටහන 16 වන දා, වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පැවැත් වූ අතර, සමාරම්භක උළෙලට සමගාමීව දරු උපතකට සැරසෙන මව්වරුන් වෙනුවෙන් අංග රැසක් සංවිධාන කර තිබුණි. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතා විසින් දැනුවත් කිරීමේ දේශනයක් ද පවත්වන ලදී.
මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිලුෂිකා ධනසේකර මහත්මිය, වැල්ලවත්ත මාතෘ සායන කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්,වෛද්‍යවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීවරියන්, වැල්ලවත්ත මාතෘ සායන කොට්ඨාසය නියෝජනය කරනු ලබන මව්වරුන් එක්ව සිටියහ.
END/GONP/MMP/18122025
