ජනතාව දේශපාලනඥයන්ට අනුගමනය කිරීමට ආදර්ශ සපයමින් සිටිති – ආචාර්ය ජෙහාන් පෙරේරා
දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ ව්‍යසනය තමන්ගේ දේශපාලන වාසි තකා භාවිත කිරීමට සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. මෙම පරිමාණයේ ඛේදවාචකයක් සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කිරීමට දිරිගැන්විය යුතුව තිබිණි. ඔවුන්ට එය කළ නොහැකි නම්, එය දේශපාලන වගකීමක් සහ සදාචාරාත්මක වටිනාකම් නොමැතිකම පෙන්නුම් කරයි. විපක්ෂය මතුකළ ප්‍රධාන කරුණ නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් ලැබීමෙන් පසුව පවා රජය ප්‍රමාණවත් තරම් වේගයෙන් ක්‍රියානොකළ බවයි. විපක්ෂය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සමඟ තමන්ගේම රැස්වීමක් ද පැවැත්වීය. මෙම රැස්වීමේදී, ඔවුහු ආපදා හැසිරවීමේදී ඔවුන්ගේ අතීත අත්දැකීම් සාකච්ඡා කළ අතර, වත්මන් ආණ්ඩුව එතරම් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වී ඇති ආකාරය ඉස්මතු කළහ.
සුළිකුණාටුවෙන් සිදු වූ සම්පූර්ණ හානිය පුරෝකථනය කිරීම දුෂ්කර වන අතර, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පද්ධතිය වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර ඇති බැවින් මෙම ගැටළුව තවත් උග්‍ර විය. ආපදා කළමනාකරණය සඳහා ලබාදුන් මුදල් අවංක, විවෘත හා ඵලදායී ආකාරයකින් භාවිත කිරීමට පෙර පාලනයන්ද අපොහොසත් විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ‘රතු කලාප’ ලෙස සලකුණු කරන ලද ප්‍රදේශ, එනම් ඒවා නායයෑම් අවදානමට ලක්ව ඇති ප්‍රදේශ අඛණ්ඩව නිවාස ඉදිකිරීම සඳහා භාවිත කර ඇත. මෙම අනතුරු ඇඟවීම් පසුගිය පාලනයන් විසින් පමණක් නොව, සිවිල් සමාජය සහ ජනමාධ්‍ය විසින් ද නොසලකා හරින ලදී. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 1984 දී නිර්මාණය කරන ලදී. නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ හඳුනාගෙන අවදානම් සිතියම් නිර්මාණය කිරීමේ එහි ව්‍යාපෘතිය 1986 දී ආරම්භ විය. මෙයින් අදහස් කරන්නේ, අවදානම් බෑවුම් හඳුනාගැනීම, අවදානම් කලාප සලකුණු කිරීම සහ සිතියම් සකස් කිරීමේ කටයුතු වසර 35 සිට 40 දක්වා කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකාව දිත්වා සුළිකුණාටුවට මුහුණදුන් කාලයේදීම ඉන්දුනීසියාව, තායිලන්තය සහ පිලිපීනය ද සුළි කුණාටු වලට ගොදුරු විය. ඔවුන් ද සූදානමකින් තොරව සිටි අතර, දැඩි හානිවලට ලක්විය. අග්නිදිග ආසියාව පුරා පැතිර ගිය විනාශය ගෝලීය දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වේ.
දිත්වා සුළිකුණාටුව අතරතුර, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සමහර ප්‍රදේශවලට මිලිමීටර් 500 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිණි. සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1850 ක් පමණ වන අතර, වියළි ප්‍රදේශවල මිලිමීටර් 900 සිට ඉතා තෙත් ප්‍රදේශවල මිලිමීටර් 5000 දක්වා එය කලාපය අනුව වෙනස් වේ. දිත්වා සමයේදී වර්ෂාපතනය කෙතරම් තීව්‍රද යත්, සමහර ප්‍රදේශවලට කෙටි කාලයක් තුළ, සාමාන්‍යයෙන් වසරක් තුළ ලැබෙන ප්‍රමාණයට සමාන වර්ෂාපතනයක් ලැබිණි.
සියල්ල ඇතුළත් ප්‍රවේශය
දේශගුණික විපර්යාස දැන් ශ්‍රී ලංකාවට තවත් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත. එය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට තනිවම විසඳාගත නොහැකි අර්බුදයකි. ආර්ථික අර්බුදය, වාර්ගික ආතතීන් සහ දූෂණය මෙන්ම, දේශගුණික විපර්යාස සඳහා සෑම කෙනෙකුම එකට වැඩකිරීම අවශ්‍ය වේ. විපක්ෂය, සිවිල් සමාජය, ආගමික කණ්ඩායම් සහ ව්‍යාපාරික අංශය, රජය විවේචනය කිරීම පමණක් නොව විසඳුම් සෙවීමට උදව් කළ යුතුය. එකට වැඩකිරීම ඔවුන්ගේම යහපතට ද හේතු වේ. අර්බුදය අතරතුර, ජවසම්පන්න සහ ඩිජිටල් තාක්‍ෂණය පිළිබඳ කුසලතා ඇති බොහෝ තරුණයෝ (Gen Z), රජයට කළ නොහැකි ස්ථානවලට උපකාර කිරීමට ඉදිරිපත් විය. එසේ කිරීමෙන්, ඔවුහු විපක්ෂය සහ සාම්ප්‍රදායික සිවිල් සමාජය යන දෙකම අඩු වැදගත්කමක් ඇති බව පෙනෙන්නට සැලැස්වූහ.
ගංවතුර සහ නායයෑම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට බලපා ඇති බව වාර්තාවී පැය කිහිපයක් ඇතුළත, සාමාන්‍ය පුරවැසියෝ තනිවම සහන සැලසීමේ උත්සාහයන් ආරම්භ කළහ. තනි සංවිධායකයකු හෝ නායකයකු එම බොහෝ තැන්වල සිටියේ නැත. ඒ වෙනුවට, සිය ගණනක් ජනයා ස්වේච්ඡා පුද්ගලයන්ට සැපයුම් එකතු කර, ඔවුන් විසින් නිර්මාණය කරන ලද ප්‍රජා මුළුතැන්ගෙවල්වල විපතට පත් පිරිස් වෙනුවෙන් ආහාර පිසීමට දිරිගැන්වූහ. මෙම ප්‍රජා මුළුතැන්ගෙවල් පාසල්, පන්සල්, මුස්ලිම් පල්ලි, ගරාජ සහ මාර්ගවලට යාබදව පවා දැකගත හැකි විය. ස්වේච්ඡා පිරිස් පරිත්‍යාග එකතු කිරීමට, පරිත්‍යාගශීලීන් ප්‍රවාහනය සමඟ සම්බන්ධ කිරීමට සහ බෙදාහැරීමේ මාර්ග සැලසුම් කිරීමට සමාජ මාධ්‍ය භාවිත කළහ. විශේෂයෙන් ගස් කඩාවැටීමෙන් හෝ නායයෑම්වලින් අවහිර වූ ප්‍රදේශවලට ඔවුන්ගේ දායකත්වය සැපයිණි. ඔවුන්ගේ කැපවීම සහ සම්බන්ධීකරණය, විධිමත් ආයතන විසින් කලාතුරකින් සිදුකරන මට්ටමක පැවැතිණි.
සහන කටයුතු සඳහා තරුණයෝ පමණක් නොව, සෑම වයස් කාණ්ඩයකම ජනතාව උදව් කළහ. බොහෝ සාමාන්‍ය ජනතාව දායක වූහ. ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මහජනතාවගෙන් ලැබුණු පරිත්‍යාග භාවිත කරමින් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට සහල් ටොන් 23ක් යැවීය. මාතර දිස්ත්‍රික් කාර්යාලය විසින් දැඩි ලෙස පීඩාවට පත් ස්ථාන වෙත යෑමට ස්වේච්ඡා සේවක කණ්ඩායම් සංවිධානය කරන ලදී. 2022 අරගල විරෝධතාවලදී මෙන්, සියලුම ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වල ජනතාව එක්ව වැඩකළහ. ඔවුහු කුමන ප්‍රජාවකට අයත් වුවත්, සහාය අවශ්‍ය ඕනෑම කෙනකුට උපකාර කළහ. මෙයින් පෙන්නුම් කළේ අර්බුදයකදී, ශ්‍රී ලාංකිකයන් අන් අයට මිනිසුන් ලෙස සලකන බවත්, කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව කටයුතු කරන බවත්ය.
හැරවුම් ලක්ෂ්‍යය
රජය දැන් අභියෝගයකට මුහුණ දී සිටී. ක්ෂණික සහන කටයුතු අවසන් වූ පසුවත් සුළි කුණාටුව අතරතුර ඇති වූ එකමුතුකම පවත්වාගැනීම සහ එය රට නැවත ගොඩනැගීමේ දිගුකාලීන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම එම අභියෝගයයි. ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකාව තම ආර්ථික සැලසුම් නැවත සලකා බැලිය යුතුය. අඩි 5,000ට වඩා ඉහළින් ජීවත් වන ජනතාව නැවත පදිංචි කළ යුතු බවත්, එම ප්‍රදේවල නැවත වන වගා කළයුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ. මෙයින් අදහස් කරන්නේ මෙම පවුල් වෙනුවෙන් රජයට නව ඉඩම් සොයාගැනීමට සිදුවනු ඇති බවයි. කඳුකරයේ, මෙම නැවත පදිංචි කිරීම සඳහා මලයියාහ දෙමළ ප්‍රජාව වෙනුවෙන් දිගුකාලීනව පවතින ඉඩම් අයිතිවාසිකම් පිළිබඳ ගැටළුව විසඳීමට ද රජයට අවශ්‍ය වනු ඇත.
නිදහසින් පසු, මලයියාහ දෙමළ ජනතාවට ඉඩම් අයිතිය ලබා දී නොමැත. පළමුව එය ඔවුන්ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටළු නිසා වූ අතර, දැන් එය දරිද්‍රතාව සහ වතු සමාගම් කම්කරුවන්ට සාධාරණ ලෙස සැලකීමට අකමැති වීම නිසාය. ඔවුන් නව ස්ථානවලට ගෙනයෑම සමාජ, ආර්ථික සහ දේශපාලනික අභියෝග සහිත සංකීර්ණ ගැටළුවකි. ජලය, මූලික සේවා හෝ රැකියා නොමැති ස්ථානවලට මිනිසුන් යැවීම වැනි අතීත වැරදි නැවත සිදුනොවන පරිදි ඔවුන්ගේ නැවත පදිංචි කිරීම ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුය. ඉඩම් යනු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, ජනවාර්ගිකත්වය සහ දිගුකාලීන ගැටුම් සමඟ සම්බන්ධ වී ඇති ඉතා සංවේදී ගැටලුවක් වන බැවින් එයට දේශපාලන නායකයන්ගේ එකඟතාවක් ද අවශ්‍ය වේ. කල් පවත්නා විසඳුමක් හුදෙක් මිනිසුන් ගෙනයාමට වඩා වැඩි යමක් වියයුතුය. වතු ආර්ථිකයට සහාය වන නමුත් රටේ දුප්පත්ම පිරිස අතර රැඳීසිටින මලයියාහ දෙමළ ප්‍රජාව මුහුණදෙන දිගු කාලීන බැහැර කිරීමේ ඉතිහාසය රජය විසින් ආමන්ත්‍රණය කළ යුතුය.
දිත්වා සුළිකුණාටුව රටට වැදගත් මොහොතක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවට වඩා හොඳ පාලනයක් සහ ආපදා සූදානමක් අවශ්‍ය බව එයින් පෙන්නුම් කර ඇත. එසේම එය ධනාත්මක යමක්ද පෙන්වා දී ඇත. එනම්, මිනිසුන්ට මහත් කරුණාවෙන් හා සෑම කෙනෙකුගේම යහපැවැත්ම සඳහා සැලකිල්ලෙන් ක්‍රියාකළ හැකි බවත්, දේශපාලන නායකයන්ට මෙම උදාහරණයෙන් ඉගෙන ගතහැකි බවත් ය. සුළිකුණාටුවට මහජනතාව දැක්වූ ප්‍රතිචාරයෙන් පෙනීගියේ ශ්‍රී ලංකාවේ එකමුතුකම සහ අනුකම්පාව තවමත් ශක්තිමත් බවයි. අවංක හා වෙහෙස මහන්සි වී වැඩකරන රජයකට මෙම ආත්මය මත රට ගොඩනගා ගත හැකිය. සහන කටයුතු අවසන් වූ පසුවත් මෙම එකමුතුකම ජීවමානව තබාගැනීම සහ රට නැවත ගොඩනැගීමේ හා දේශපාලන සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ දිගුකාලීන කාර්යය ඉදිරියට ගෙනයෑම දැන් රජයට ඇති අභියෝගයයි.
– ආචාර්ය ජෙහාන් පෙරේරා
END/MMP/17122025
