දින කිහිපයකින් මහ කන්නයට ජලය සැපයීමට ඌවපරණගම ඌමා ඇල ව්‍යාපෘතිය සූදානම්
තව දින කිහිපයකින් මහ කන්නයට ජලය සැපයීම සඳහා ඌවපරණගම ඌමා ඇල ව්‍යාපෘතිය සූදානම් බවත්, ඌමා ඇල ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු අද වනවිට 75% කින් අවසන් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
අද(15) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙමගින් බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 2000කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දීම සඳහා ජලය ලබා දීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් ඌමා ඇල අමුණ ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ වාරි පද්ධති 1108ක් පමණ හානියට පත් වූ අතර, විවිධ කණ්ඩායම්වල ශ්‍රම දායකත්වයෙන් මේ වන විට එම වාරි ව්‍යාපෘති බොහොමයක කටයුතු අවසන් අදියරට පැමිණෙමින් පවතියි.
වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම ඌමා ඇල ව්‍යාපෘතිය උඩරට එළවලු වගාවට 65% ක පමණ දායකත්වයක් ලබා දෙන වාරි ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.
මේ වන විට වැව් සහ ඇල මාර්ග 231ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බවත්, ඒ අනුව තාවකාලිව මෙම ඇල මාර්ග ජලය ලබා දීම සඳහා සූදානම් කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 5040ක් සඳහා මේ වන විට රුපියල් 25,000 දීමනාව ලබා දී ඇති බවත් අද සහ හෙට දිනයේදී එම කටයුතු අවසන් වන බවද කීය.හානියට පත් නිවෙස් සඳහා මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා ලබා දෙන දීමනාවද මෙම සතිය තුලදී ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.
