ව්‍යසනයේදී අවශ්‍ය වන්නේ සුපුරුදු පරිදි දේශපාලනය නොව රාජ්‍යතාන්ත්‍රිකත්වයයි – ආචාර්ය ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව, එකම කාලයකදී සුළිකුණාටුවලට ගොදුරු වූ ආසියානු රටවල් හතරෙන් එකකි. ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල සුළිකුණාටුවලින් ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් බරපතල හානි සිදු වූ බවත්, ශ්‍රී ලංකාවද එවැනිම කුණාටුවකින් පීඩාවට පත් වූ බවත් අන්තර්ජාතික පුවත් වාර්තා කළේය. ශ්‍රී ලංකාවට වඩා බොහෝ විට සුළිකුණාටුවලට මුහුණදෙන අනෙක් රටවල පවා මරණ සංඛ්‍යාව සිය ගණනක් විය. ශ්‍රී ලංකාවේ, තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව දැන් 600ක් වන අතර, 200ක්  තවමත් අතුරුදහන් වී ඇත. ගලවාගැනීමේ කණ්ඩායම් මෙතෙක් ප්‍රවේශ විය නොහැකි ප්‍රදේශවලට ළඟාවන විට අවසාන සංඛ්‍යාව බොහෝසෙයින් වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ සම්පූර්ණ බලපෑම තවමත් නොදනී. මුල් වාර්තාවලින් පෙනීයන්නේ නිවාස 50,000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි. මාර්ග 200 කට වැඩි සංඛ්‍යාවක් භාවිත කළ නොහැක. අවම වශයෙන් පාලම් 10 කට හානි සිදුවී ඇති අතර, දුම්රිය පද්ධතියේ සහ ජාතික විදුලිබල ජාලයේ කොටස්වලටද එය බලපා ඇත.
2004 සුනාමිය වැනි රටේ කොටසක් පමණක් බලපෑ පෙර ව්‍යසන මෙන් නොව, මෙම සුළිකුණාටුව මුළු රටටම පාහේ බලපා තිබේ. කණගාටුදායක ලෙස, මෙම විනාශය ජනතාව බලාපොරොත්තු වූ ආර්ථික ප්‍රකෘතිය බරපතල ලෙස මන්දගාමී කරනු ඇත. මෙම අර්බුදයට තනිවම මුහුණදීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් සම්පත් නොමැත. ලෝකය දැනට බොහෝ ගැටුම්වලට මුහුණ දී සිටින අතර, රටවල් ආධාර දීමට එතරම් කැමැත්තක් නොදක්වන නමුත්, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් උදව් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. විදේශ ප්‍රතිපත්තියේ එක් ධනාත්මක වර්ධනයක් වූයේ ඉන්දියාවේ ඉක්මන් ප්‍රතිචාරයයි. මිත්‍රශීලී සංචාරයක් සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ සිටි ඉන්දියානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වහාම ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා භාවිත කරන ලදී. 2022 දී, වැරදි කළමනාකරණය සහ දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටුණු විට මෙන්, සුළි කුණාටුවෙන් ඇති වූ දුක්වේදනා අඩුකිරීමට මැදිහත් වී උදව් කළ පළමු රට ඉන්දියාවයි.

සහන සේවා කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ද මුදල් ලබා දී ඇත. තමන්ගේම ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදෙන නේපාලය පවා පරිත්‍යාගයක් කර ඇත. ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා අත්‍යවශ්‍ය සැපයුම් රැගෙන පාකිස්ථාන නාවික හමුදා නෞකාවක් පැමිණ තිබේ. වඩාත්ම දිරිගන්වන කරුණ නම්, හානිය අධ්‍යයනය කිරීමට සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ සහාය සැලසුම් කිරීමට ජපානය ශ්‍රී ලංකාවට කණ්ඩායමක් ඒවා තිබීමයි. චීන රතුකුරුස සංවිධානය අරමුදල් පරිත්‍යාග කර ඇති අතර, චීනයෙන් වඩාත් නිල වශයෙන් උපකාර අපේක්ෂා කෙරේ. එක්සත් රාජධානිය ආධාර ලබාදෙන නවතම රට බවට පත්ව ඇත. දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා රජයේ කැපවීම කෙරෙහි ශ්‍රී ලාංකික ජනතාව සහ අන්තර්ජාතික ප්‍රජාව දැන් තබා ඇති විශ්වාසය මෙම අර්බුදය තුළ රටට උපකාරී වනු ඇත. මෙම තහවුරුව මඟින් ශ්‍රී ලංකාවට රට නැවත ගොඩනැගීම සඳහා තීරණාත්මක අන්තර්ජාතික ප්‍රතිසාධන වැඩසටහනක් ඉල්ලා සිටීමට අවස්ථාව ලබාදෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

ඒකාබද්ධ බලපෑම

තවත් යහපත් තත්වයක් නම්, ව්‍යසනයෙන් දින කිහිපයක් ඇතුළත ස්වේච්ඡා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් එක්රැස් වීමයි. රට පුරා, අවතැන් වූ ලක්ෂයකට අධික පිරිසක් පෝෂණය කිරීම සඳහා ප්‍රජා මුළුතැන්ගෙය පිහිටුවා තිබේ. සාමාන්‍ය පුරවැසියන් මුදල්, පිසූ ආහාර, වියළි ආහාර සහ සැපයුම් බෙදාහැරීම සඳහා තමන්ගේම වාහන පවා ලබාදීමෙන් උදව් කර ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වීඩියෝවල විදුලි සේවකයන් තමන්ගේ ආරක්ෂාව අවදානමට ලක්කර ගනිමින් ආපදාවට ලක්වූ විදුලි රැහැන් සවිකරන ආකාරය දැකගත හැකිය. තවත් වීඩියෝවල, ආරක්ෂක හමුදා සාමාජිකයන් නිවෙස්වල සිරවී සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා ඉහළ යන ගංවතුර හරහා ගමන් කරන ආකාරය පෙන්වයි. ඔවුන්ගෙන් හයදෙනකුට අන් අය බේරාගැනීමට උත්සාහ කරන අතරතුර ජීවිත අහිමි විය. කරුණාවන්තකම සහ ධෛර්යය පිළිබඳ මෙම ක්‍රියාවන්, අදටත් පවතින දේශපාලන බෙදීම් අභිබවා නැගීසිටින, ශක්තිමත්, එක්සත්කමේ ජීවයකින් මිනිසුන් කටයුතු කළ අතීතය අපට සිහිපත් කරයි.

මෙවර අර්බුදයේ ප්‍රමාණය රටේ දේශපාලන නායකයන් එකට එක්කිරීමට උපකාරී විය හැකිය. එය රජයට ඔවුන්ගේ විවේචනවලට සවන්දීම පමණක් නොව, විපක්ෂය සමඟ වැඩ කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක ව්‍යසනයට මුහුණදෙන ආකාරය සාකච්ඡා කිරීමට විරුද්ධ පක්ෂවලට ආරාධනා කළේය. රැස්වීම බැරෑරුම් හා ගෞරවනීය විය. ජනාධිපතිවරයා පළමුව තත්වය පැහැදිලි කළ අතර පසුව විපක්ෂ නායකයන් බෙදාගත් අදහස්වලට සවන් දුන්නේය. මෙය ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන දෙයට වඩා බෙහෙවින් වෙනස් විය. රජය සහ විපක්ෂය අතර රැස්වීම් දුර්ලභ වන අතර, බොහෝ විට ආතති සහගත වේ. මෙම තත්වය තුළ, ජනාධිපතිවරයා මීට පෙර දැක ඇති ඕනෑම දෙයකට වඩා විශාල හා පුළුල් ජාතික අර්බුදයකට මුහුණදීම සඳහා දේශපාලන සමගිය ගොඩනැගීමට උත්සාහ කළේය.

ඉතා අසාමාන්‍ය පියවරක් ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රට වෙනුවෙන් උදව් ඉල්ලා විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවිය. ව්‍යසනයට සම්පූර්ණයෙන්ම ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය බලතල ලබාගැනීම සඳහා ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන්, හදිසි බලතල භාවිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂය රජය විවේචනය කරන්නේ, ඒවා බොහෝ විට අනිසි ලෙස භාවිත කර ජනතාවගේ නිදහස සීමාකිරීමට උපයෝගී කරගෙන කර ඇති බැවිනි. පෙර පාලනයන් ඒවා අනිසි ලෙස භාවිත කරන බවට චෝදනා කරමින් වසර ගණනාවක් ගතකර ඇති බැවින් වත්මන් ආණ්ඩුවද මෙම බලතල භාවිත කිරීමට ද පසුබට වේ. ජාතිය අමතමින් ජනාධිපතිවරයා පොරොන්දු වූයේ, හදිසි බලතල භාවිතා කරනු ලබන්නේ, ජනතාවට පීඩාකිරීමට නොව, සහන සැලසීමට සහ රට යථා තත්ත්වයට පත්කිරීමට සහාය ලබාගැනීම සඳහා පමණක් බවයි. සහන සඳහා අරමුදල් වඩාත් ඉක්මනින් නිකුත් කළ හැකි වන පරිදි රජයේ නිලධාරීන්ට මුදල් වියදම් කළ හැකි ආකාරය සීමාකරන සුපුරුදු පරිපාලන නීති ඉවත් කළ බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ විවෘතභාවය

තවත් සාධනීය පියවරක් වූයේ රජය සිවිල් සමාජ සංවිධානවලට (CSOs) ජනාධිපතිවරයා සහ අර්බුදය හසුරුවන ජ්‍යෙෂ්ඨ කණ්ඩායම හමුවීමට ආරාධනා කිරීමයි. මෙයින් පෙනීයන්නේ රජයට රටේ සියලු ශක්තීන් ව්‍යසනයට මුහුණදීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය බවයි. රැස්වීම අතරතුර, ජනාධිපතිවරයා තත්ත්වය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක් ලබාදුන් අතර, සන්නිවේදන ගැටළු, ප්‍රවේශ දුෂ්කරතා, යටිතල පහසුකම්වලට සිදුවූ හානි සහ ප්‍රතිචාර දැක්වීමට රජයේ සැලසුම් තේරුම් ගෙන ඇති බව පෙන්වීය. එලෙස හමුවීමට අවස්ථාව ලබාදීම ගැන සිවිල් සමාජ සංවිධාන නියෝජිතයෝ ජනාධිපතිවරයාට ස්තූති කළ අතර, පසුගිය හදිසි අවස්ථාවලදී ඔවුන් උපකාර කළ ආකාරය සිහිපත් කළහ. බොහෝ සංවිධාන දැනටමත් බිම් මට්ටමේ කටයුතු කරමින් සිටින බවත්, අරමුදල්, අත්දැකීම්, කුසලතා සහ දේශීය ජාල හරහා සහාය ලබාදෙන බවත් ඔවුහු පැවසූහ. ජාතික මට්ටමේ සම්බන්ධීකරණය සහ තොරතුරු බෙදාගැනීම ප්‍රයෝජනවත් වනු ඇති බවත්, එසේනමුත් සුදුසු අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීමේදී සිවිල් සමාජ සංවිධාන ඇතුළත් කරගැනීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය බලධාරීන්ට පැහැදිලි උපදෙස් ලබාදෙන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

සාකච්ඡාව අතරතුර, ආපදා සම්බන්ධ සියලු තොරතුරු රජය විසින් සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සිවිල් සංවිධාන නියෝජිතයෝ අවධානය යොමුකළහ. රජයේ ආයතන බොහෝවිට තොරතුරු නිකුත් කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් වන අතර, මෙම දිගුකාලීන පිළිවෙත වෙනස්විය යුතුය. අර්බුදය යනු රජය සියලු පුරවැසියන්ට එක හා සමානව සලකන බවත්, ප්‍රජාවන් එක්සත් කරන ආකාරයෙන් සහන කටයුතු සිදුකරන බවත් පෙන්වීමට අවස්ථාවක් බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පැවසූහ. රැස්වීමේ වැදගත් කොටසක් වූයේ, රජය සමඟ කටයුතු කිරීමට සහ ඔවුන්ගේම ප්‍රමුඛතා තීරණය කිරීමට සිවිල් සංවිධාන නියෝජිතයන්ට නිදහසේ කටයුතු කළ හැකි බවට ලබාදුන් ජනාධිපතිවරයාගේ සහතිකයයි. කෙසේවෙතත්, රජය පරිපාලනයේදී ඊට වෙනස් මතයක් දරා ඇති බව පෙනේ. “ඔබේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදුකරනු ලබන සියලුම ක්‍රියාකාරකම් දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක හරහා සම්බන්ධීකරණය කළ යුතුය” යනුවෙන් ඔවුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලියා ඇත.

දිස්ත්‍රික් මට්ටමේ රජයේ නිලධාරීන් සහන සේවා මෙහෙයවීමට වඩාත් සුදුසු වන්නේ, ඔවුන්ට තොරතුරු සඳහා පුළුල්ම ප්‍රවේශය ඇති බැවිනි. සම්බන්ධීකරණය අවශ්‍ය වේ. එහෙත් එය කළ යුත්තේ පාලනයෙන් නොව උපදේශනයෙන් ය. ශ්‍රී ලංකාව විවිධත්වයෙන් යුත් සමාජයක් වන අතර, සියලු හඬවල් ඇසෙන විට හොඳම විසඳුම් ලැබෙනු ඇත. විපක්ෂය වෙත ළඟාවීමට, සිවිල් සමාජය හමුවීමට සහ කිසිදු තනි ආයතනයකට අර්බුදය තනිවම හැසිරවිය නොහැකි බව පිළිගැනීමට රජය දරන උත්සාහයන්, වඩා හොඳ දේශපාලනයක් කළ හැකි බවට සලකුණු වේ. අද රට ආර්ථික වශයෙන් බංකොලොත් විය හැකි නමුත් එය සදාචාරාත්මකව බංකොලොත් නොවේ. අවාසනාවකට මෙන්, ආපදා කළමනාකරණ ප්‍රතිපත්ති සහ සැලසුම් සාකච්ඡා කිරීමට රජය තමන්ට අවස්ථාවක් ලබානොදුන් බව පවසමින් විපක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවෙන් පිටව ගියේය. සුළිකුණාටුවෙන් ඇති වූ එකමුතුකම පක්ෂ දේශපාලනය මගින් දුර්වල නොවන පරිදි රජය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයම සැබෑ නායකත්වයක් පෙන්විය යුතුය.

– ආචාර්ය ජෙහාන් පෙරේරා
END/MMP/131220225

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed