ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් මිලියන 5ක් වටිනා ලිහිසි තෙල් තොගයක් පරිත්‍යාග කෙරේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සැපයුම්කරුවෙකු වන Blue Skies Aviation Solutions (Pvt) Ltd , ගුවන් යානා සඳහා භාවිතා කෙරෙන රුපියල් මිලියන 5ක් වටිනා ලිහිසි තෙල් තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරමින් ජාතික ආපදා සහන මෙහෙයුම් සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.
එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ වින්ග් කමාන්ඩර් දොන් අසිත මානගේ (විශ්‍රාමික) ඊයේ (10) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාර දෙන ලදි.
ගුවන්යානා සඳහා භාවිතා කෙරෙන උසස් තත්ත්වයේ AeroShell 500 ලිහිසි තෙල් තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුලත්වේ . මේ වන විට රට පුරා මානුෂීය සහ ආපදා සහන මෙහෙයුම් සඳහා යොදවා ඇති Bell 412 සහ Bell 212 හෙලිකොප්ටර් යානා නඩත්තු කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙම ලිහිසි තෙල් භාවිතා කරනු ඇත.
ජාතික සහන මෙහෙයුම්වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානාවල ගුවන් යෝග්‍යතාවය පවත්වා ගැනීමට මෙම ලිහිසි තෙල් අත්‍යවශ්‍ය සහයෝගයක් සපයනු ඇත.
